කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ක්‍රියා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගුවන් තොටුපොල බලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ කටුණායක ගුවන් තොටුපොලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පස්වරුවේ කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. රටින් පිටවීමේ දී සහ මෙරටට පැමිණීමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ලෙස ක්‍රියා කරන්නැයි ජනාධිපතිතුමා එහිදී ගුවන් තොටුපොල බළධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
මගියෙකු ගුවන් තොටුපොලට ඇතුළුවන අවස්ථාවේ සිට මගී පර්යන්තය ඔස්සේ ගුවන් යානයට පිවිසීම දක්වා සහ රටට පැමිණෙන ගුවන් මගියෙකු පිටතට පැමිණෙන තෙක් ගතවන කාලය, ස්ථාන හා ක්‍රියාවලිය ජනාධිපතිතුමා නිරීක්ෂණය කළා. ආගමන විගමන පරීක්ෂණ සදහා ප්‍රමාණවත් නිලධාරීන් යොදවා සිදුවන ප්‍රමාදය උපරිමයෙන් අවම කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා ආගමන විගමන අධ්යක්ෂ ජනනරාල්වරයාට උපදෙස් ලබාදුන්නේ.
ගුවන් තොටුපලෙන් පිටව යන සහ පැමිණි මගීන් සමග ද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වුණා. කුලී රථ වෙනුවෙන් වෙනම අංගනයක් සකස් කරන ලෙසයි ගුවන් තොටුපොල සභාපති මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතාට මෙහිදී උපදෙස් ලබාදෙනු ලැබුවේ. ගුවන් තොටුපොල සේවාවන්හි කාර්යක්ෂමතාව පිළිබද ජනාධිපතිතුමා සභාපතිවරයාට හා කාර්ය මණ්ඩලයට ප්‍රශංසාව ද පළකලා.
