ත්රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (23) රාත්රී කාලයේ මාවනැල්ල පොලිස් වසමේ රඹුක්කන මාවනැල්ල මාර්ගයේ තලගොල්ල පාලම ආසන්නයේ තිබූ ගසක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්රීරෝද රථයක් මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කඩිනමින් ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් සහ ප්රදේශවාසීන්ගේද සහය ඇතිව ගසට යටවී තිබූ ත්රීරෝද රථයේ සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවක් සහ කුඩා දරුවෙකු මුදවාගෙන මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
එහිදී ත්රීරෝද රථයේ රියදුරු මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 38 ක් වූ මාවනැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම ගස කඩා වැටීම හේතුවෙන් රඹුක්කන මාවනැල්ල මාර්ගයේ වාහන ගමනාගමනය තලගොල්ල පාලම අසලින් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගය හරහා ගමන් ගන්නා සියළුම රියදුරන් හා මහජනතාව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මෘත ශරීරය මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
