ඉන්දියාවේ බාලවයස්කාර දරුවන්ගේ ජීවිත දැඩි අවදානමකට මුහුණ පා ඇති බව වාර්තා වනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ දරුවන් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීම හා බාලවයස්කාර විවාහ 17%කින් ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා. ළමා මෙහෙකාර සේවයේ යෙදවීම, මිනිස් ජාවාරමේ යෙදවීම, ළමා විවාහ හා ළමයින් අපයෝජනයට ලක් කිරීම ඇතුළු ළමයින් යොදා ගනිමින් සිදුකළ අපරාධ තිස්දෙදහස් හත්සියයක් මෙම කාලය තුළ වාර්තා වී ඇති බව නවතම සංගණනයකින් හෙළිව තිබෙනවා.
වෛරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට රජය ප්‍රමුඛතාව දී ඇති මොහොතක දරුවන් දැඩි අගතියකට මුහුණ පා ඇති බවයි එහි තවදුරටත් සඳහන් වන්නේ. නවදිල්ලි නගරයේ මාර්ග සංඥා පුවරු අසළ කාන්තාවන් හා කුඩා දරුවන් සිගමන් යැදීම හා වෙළෙදාමේ යෙදීමද ඉහළ ගොස් තිබෙනවා. වෛරස ව්‍යාප්තියත් සමඟ දරිද්‍රතාව ඉහළ යාම හේතුවෙන් බොහෝ දරුවන්ට රැකියාවක නිරතවීමට හෝ විවාහ වීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
