ලොව හොදම වමත් දඟපන්දු යවන්නා ලෙස සැළකෙන රංගන හේරත් ක්‍රිකට් පිටියෙන් අද (09) සමුගත්තා. ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලද ලකුණු 211 ක අමිහිරි පරාජයත් සමගයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 342 ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 203 ක් පමණයි. ලකුණු 139 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 322 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සදහා හිමි වූ ඉලක්කය ලකුණු 462 ක්. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ හා පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අනුව ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 250 කට සීමා වුණා. ඉනිම දෙකේදීම අර්ධ ශතක වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා. අනෙක් කිසිදු පිතිකරුවෙකුට ඉනිම දෙකේදීම අර්ධ ශතකයක් හෝ රැස් කිරීමට හැකි වුණේ නැහැ. ඉනිම දෙකේදීම කඩුලු 3 ක් දවා ගැනීමට රංගන හේරත් සමත් වුණා.
ලොව හොදම වමත් පන්දු යවන්නා ලෙස සැළකෙන රංගන හේරත් මෙම තරගයේදී සිය සමුගැනීම සටහන් කළේ නව වාර්තාවක්ද සමගින්. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු සියයක් දවා ගත් දෙවන පන්දු යවන්නා ලෙස ඔහුගේ නම වාර්තා අතරට එක් වුනා. එමෙන්ම 1999 වසරේදී ටෙස්ට් පිටියට පිවිසි රංගන 2018 දී ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ මේ වන විට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතුරින් සියවස් දෙකක් නියෝජනය කළ අවසන් ක්‍රීඩකයා ලෙසයි. සමුගන්නා විට රංගන හේරත් හතළිස් වන වියේ පසුවුණා.
තරගයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙන ආවේ ලක්හඩ ගුවන් විදුලියයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/rr.jpg”]