Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාත්‍ය මණ්ඩල තීරණ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 15:08

අමාත්‍ය මණ්ඩල තීරණ

2018-10-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ,

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම

– රාජ්‍ය අංශයේ මූල්‍ය විනය පවත්වාගෙන යාම හා ඉහළ නැංවීම පිණිස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි. රාජ්‍ය මූල්‍ය විනය තවදුරටත් වැඩිදියුණු කරමින් රාජ්‍ය ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා එවැනි කටයුතු පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින්හට විශේෂඥ පුහුණුවක් ලබා දීම සඳහා සකස් කර ඇති පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත සංශෝධනය කිරීම

– පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, නිර්මුක්ති සහ බලතල ප්‍රකාශ කිරීමට හා නිර්වචනය කිරීමට, කථා කිරීමේ හා විවාද කිරීමේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ නිදහස සුරක්ෂිත කිරීමට, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සඳහා දඬුවම් පැමිණ වීමට මෙන්ම පාර්ලිමේන්තුවේ ලේඛන, සටහන්, ඡන්ද විමසීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යන්හි නිරත පුද්ගලයින්ට ආරක්ෂාව සැලසීමට උක්ත පනත සංශෝධනය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉඩම් කට්ටි කිරීමේදී පරිසර පද්ධතීන්ට සිදුවන හානි අවම කිරීම

– නිවාස ඉදි කිරීම හා වෙනත් කාර්යයන් සඳහා ඉඩම් කට්ටි කිරීමේදී හා නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමේදී එමඟින් පරිසරයට ඇති කරන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හා අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රමවේදයක් පැවතියද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විවිධ ගැටලු පැනනැඟී ඇත. එබැවින්, එකී ගැටලු අවම කරගනිමින්, ප්‍රශස්ත ලෙස රජයේ හා පෞද්ගලික ඉඩම් පරිහරණය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත
කරන ලදී.

උෂ්ණත්ව පාලක ගබඩා මධ්‍යස්ථාන, ශීතාගාර පහසුකම් ජාලයක් ස්ථාපනය කිරීම සඳහා වන දිරිගැන්වීම්

– පලතුරු හා එළවළු ගොවීන් සහ ධීවරයන් හා අනෙකුත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් පසු අස්වනු මෙහෙයුම් කටයුතුවලදී මුහුණපානු ලබන දුෂ්කරතාවලට පිළියමක් ලෙස සහ එම නිෂ්පාදනවල මිල මට්ටම උච්චාවචනය වීම අවම කිරීමේ අරමුණින් එවැනි නිෂ්පාදන බහුලව සිදු කරනු ලබන ප්‍රදේශවල උෂ්ණත්ව පාලක ගබඩා මධ්‍යස්ථාන,ශීතාගාර පහසුකම් ජාලයක් සථාපනය කිරීම සඳහා පෞද්ගලික ආයෝජන දිරිගැන්වීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ග්‍රාමීය පාලම් ඉදි කිරීම

– ග්‍රාමීය ප්‍රදේශයන්හි ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම සහ පළාත් අතර ප්‍රාදේශීය සංවර්ධන විෂමතාවයන් අවම කිරීම සඳහා ග්‍රාමීය පාලම් 4,000ක් ඉදි කිරීමේ අවශ්‍යතාවය රජය විසින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව, විදේශීය මූල්‍ය සහාය සහිතව ක්‍රියාත්මක කරන ලද ග්‍රාමීය පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට පාලම් 1,000ක් පමණ ඉදි කර තිබේ. තවත් ග්‍රාමීය පාලම් 250ක් ඉදි කිරීම පිණිස මුල් ව්‍යාපෘතිය යටතේ තවදුරටත් අවශ්‍ය වන අමතර අරමුදල් සලසා ගැනීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ
යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2021 ජන හා නිවාස සංගණනය

– ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 10කට වරක් පවත්වනු ලබන ජනසංගණනය 2021 වර්ෂයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජන හා නිවාස සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියර 2020 වර්ෂයේදී සහ ගණන් ගැනීමේ හා දත්ත ප්‍රචලිත කිරීමේ අදියරයන් 2021 වර්ෂයේදී සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජංගම දුරකථනවල ඇමතුම් සම්බන්ධතාව හා දත්ත හුවමාරු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම

– කොළඹ නගරය හා අනෙකුත් ප්‍රදේශවල ජංගම දුරකථනවලට සේවා සපයන ඇන්ටනා ආවරණය අඩුවීම හේතුවෙන් සිය පාරිභෝගිකයින්ට වඩා හොඳ සේවාවක් ලබා දීමේ අභියෝගයට ජංගම දුරකථන මෙහෙයුම්කරුවන් මුහුණ පා සිටී. ඒ සඳහා පිළියම් වශයෙන් විදුලි සංදේශ ‍නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ කොළඹ හා උප නාගරික ප්‍රදේශයන්හි ක්‍රමෝපායිකව වැදගත් වන ස්ථානයන්හි වහලවල් මත ඇන්ටනා ස්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩල පිළිබඳ 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ වාර්තාව

– මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩල පිළිබඳ වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවේ සඳහන් කරුණු අනුව 2018 දෙවන කාර්තුව වන විට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල, රජයේ සතු සමාගම් ඇතුළුව රාජ්‍ය අංශයේ දැනට සේවයේ යෙදී සිටින කාර්යමණ්ඩලය 1,370,885ක් වන බවත්, ඇතැම් රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවල කාර්යමණ්ඩල සාමාජිකයින් වසර 05කට වැඩි කාලයක් තිස්සේ විධිමත් අනුමැතියකින් තොරව ව්‍යාපෘතිවල සේවයේ යෙදී සිටින බවත්, අධ්‍යාපන හා‍ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි පෞද්ගලික අංශයේ දායකත්වය ක්‍රමයෙන් වර්ධනය වී ඇති ප්‍රවණතාවය තුළ රාජ්‍ය අංශයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි අතිරේක තනතුරු ඇති කිරීමට අදාළ තීරණ ගැනීමේදී අවධානය යොමු විය යුතු බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන සඳහා අනුමැතිය ලබා ගැනීම

– බීඩි කොළ ආනයනයේදී අයකරනු ලබන තීරු බද්ද සංශෝධනය කිරීමට හා සීනි කෘතිමව අඩංගු කර ඇති ආහාරමය පාන හඳුනාගැනීම සඳහා නව ජාතික උපබෙදුම් රේගු සංකේතාංක ඇති කිරීමට නිකුත් කරන ලද අංක 2079/32 දරන ගැසට් නිවේදනය සහ නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තීරු බදු සහන ලබා දීම පිණිස නිකුත් කරන ලද අංක 2080/42 දරන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ
අනුමැතියට ඉදිරිපත් කිරීම

– අතවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි වෙළඳපොළ මිල ස්ථාවරව පවත්වා ගැනීම, හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට එම භාණ්ඩ ලබා දීම, දේශීය කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන් ආරක්ෂා කර ගැනීම, බහුවිධ බදු වෙනුවට සංයුක්ත බදු ගෙවීමට සැලැස්වීම පිණිස 2018 මැයි මස 31 දින සිට 2018 සැප්තැම්බර් මස 07 දින දක්වා වන කාලපරිච්ඡේදය තුළ විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාත සංශෝධනය කිරීම සඳහාත්, පවත්නා විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුප්‍රමාණ එලෙසම දීර්ඝ කිරීම සඳහාත් නිකුත් කරන ලද ගැසට් නිවේදන 08ක් අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ ගැසට් නිවේදන ඉදිරිපත් කිරීම සඳහා වන අනුමැතිය

– 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නිකුත් කරනු ලබන ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම නියෝගයක් එම නිවේදන ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මාස 04ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව මේ වන විට නිකුත් කර ඇති පැණි රස කාරක පාන වර්ග කිහිපයක අඩංගු එකතු කරන ලද සීනි ප්‍රමාණය මත පනවන ලද නිෂ්පාදන බද්ද සංශෝධනය කිරීම සඳහා වන අංක 2079/58 දරන ගැසට් නිවේදනය, 2018 අප්‍රේල් මස 30 වන දින හෝ ඊට පෙර මෝටර් රථ ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කරගැනීමට වන කොන්දේසිය ඉවත් කිරීම සඳහා වන අංක 2080/31 දරන ගැසට් නිවේදනය, සිගරට් මත නිෂ්පාදන බදු සංශෝධනය සඳහා වන අංක 2082/11 දරන ගැසට් නිවේදනය සහ එන්ජින් ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1000ට අඩු මෝටර් රථ මත නිෂ්පාදන බදු සංශෝධනය සඳහා වන අංක 2082/10 හා අංක 2083/2 දරන ගැසට් නිවේදන අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගොඩනැඟිලි මත සවි කරන සූර්යබල පද්ධති මඟින් සූර්ය බලශක්තිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන ණය යෝජනා
ක්‍රමය

– සෑම නිවසකම, ව්‍යාපාරික ගොඩනැඟිලි/ කර්මාන්තශාලා මත සූර්ය බලශක්ති උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම මඟින් වසර 2020 වන විට මෙගාවොට් 200ක් හා වසර 2025 වන විට මෙගාවොට් 1,000ක් ජාතික විදුලිබල සැපයුමට එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති ‘සූර්යබල සංග්‍රාමය’ සඳහා සහාය වීමේ අරමුණින් යෝජිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව නිවාස හා ව්‍යාපාරික ගොඩනැඟිලි හෝ කර්මාන්තශාලා මත සවි කරනු ලබන සූර්යබල පද්ධති සඳහා මූල්‍ය පහසුකම් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීමට යෝජනා කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම පිණිස සහ සහභාගිත්ව මූල්‍ය ආයතන සමඟ උපණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ අනුබලදීම සහ නම්කළ නිෂ්පාදන අලෙවිකිරීම පිළිබඳ වූ ශ්‍රී ලංකා රීති සංග්‍රහය
වෙනුවට නව පනතක් හඳුන්වා දීම

– ළදරුවන්ගේ ප්‍රශස්ත කායික සෞඛ්‍යය තත්ත්වයක්, පෝෂණයක් සහ බුද්ධි වර්ධනයක් ළඟා කරගැනීමටත්, මන්ද පෝෂණය අඩු කරගැනීමට හා පසු කාලීන ජීවිතයේ බෝනොවන රෝගවලින් වැළැකීමටත්, මව් කිරි ඉතා ප්‍රබල දායකත්වයක් ලබා දෙන බව තහවුරු වී ඇත. ලෝක සෞඛ්‍ය සමුළු සම්මුතිය (1981) අනුව මව් කිරි ආදේශක අලෙවිකරණය පිළිබඳ ජාත්‍යන්තර රීති සංග්‍රහය ක්‍රියාත්මක කළ ලෝකයේ මුල්ම රටවල් අතරින් ශ්‍රී ලංකාවද එකක් වන අතර 2015 ලෝක මව් කිරි දීමේ ප්‍රවණතා වාර්තාව අනුව ශ්‍රී ලංකාව මව් කිරි දීම අතින් ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇත. ළදරුවන් සහ කුඩා දරුවන් සඳහා වූ කිරි ආහාර කර්මාන්තය සහ වාණිජ පරිපූරක ආහාර ප්‍රවර්ධනය කිරීම තුළින් එල්ල වන අභියෝග මෙන්ම සෞඛ්‍යයට අහිතකර ආහාර චර්යාවන්හි ප්‍රචලිත වීමද වළක්වා ගැනීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් ඇති කරගැනීම පිණිස නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වකුගඩු රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ට සත්කාර සැපයීම සඳහා අනුරාධපුරයේ සහන සත්කාර සේවා
මධ්‍යස්ථානයක් ඉදි කිරීම

– හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය සහ පිළිකා රෝගය නිසා මාරාන්තික තත්ත්වයෙන් පසු වන රෝගීන් සඳහා අනුරාධපුර නගරයේ සහන සත්කාර සේවා මධ්‍යස්ථානයක් පරිත්‍යාගයක් වශයෙන් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනම විසින් එකඟතාවය පළ කර තිබේ. යෝජිත මධ්‍යස්ථානය යටතේ නේවාසික රෝගීන් සඳහා වන සහන සත්කාර ඒකකයක්, බාහිර රෝගි සායන, ගෘහාශ්‍රිත සහන සත්කාර සේවා ඒකකයක්,පුහුණු හා පර්යේෂණ ඒකකයක් යනාදිය ඉදි කිරීමට සැලසුම් කර ඇත. යෝජිත සහන සත්කාර සේවා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට හා පවත්වාගෙන යාම පිණිස අවබෝධතා ගිවිසුමක් ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනම සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර, අත්සන් කරනු ලැබ ඇත. ඒ අනුව මෙම සහන සත්කාර සේවා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සහ පවත්වා ගෙන යාම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මට්ටක්කුලිය ‘කාකදූපත’ වෙරළ උද්‍යානයට යාබද යෝජිත බහුකාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම

– මට්ටක්කුලිය කාකදූපත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ මහජන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබා දීම පිණිස එහි ඉදි කර ඇති වෙරළ උද්‍යානයට යාබදව බහුකාර්ය ගොඩනැඟිල්ලක් ලෝක බැංකු ආධාර මත ඉදි කිරීමට යෝජනා වී ඇත. පර්චස් 65ක වපසරියකින් යුත් භූමි භාගයක වර්ග අඩි 14,500ක් පමණ ඉඩ ප්‍රමාණයක් සහිතව මෙම බහු කාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම පිණිස වැඩබලන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති කරගත් සහයෝගිතාව

– දෙරටෙහි වැවිලි කර්මාන්තයේ යහපත උදෙසා ශ්‍රී ලංකාව හා චීනය අතර අන්‍යෝන්‍ය සහයෝගිතාවයකට එළඹෙන ලද අතර, එහි ප්‍රථම පියවර ලෙස තේ, රබර් හා පොල් යන වැවිලි අංශවල සංවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම

– ශ්‍රී ලංකාව තුළ විදුලිබල ප්‍රවේශය 100%ක තත්ත්වයක් දක්වා වර්ධනය කර ඇති අතර, අඛණ්ඩව පැය 24 පුරාම විදුලිය සම්පාදනය කිරීම සඳහා රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. කෙසේ වුවද, අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කිරීම තුළින් විදුලි ජනනය සඳහා වාර්ෂිකව වැය කරන ඉන්ධන පරිභෝජනය අවම කරගැනීම මඟින් විදුලි නිෂ්පාදන පිරිවැය අවම කර ගත හැකිවේ. ඒ අනුව අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රමවේදයක් යෝජනා කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යෝධ වැව මඟින් පෝෂණය වන වැව් ප්‍රතිසංස්කරණය කිරීම

– මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව හෙක්ටයාර 3,800කට වැඩි වපසරියක් පුරා විහිදී පවතින අතර ඒ යටතේ කුඩා පෝෂිත වැව් 162ක් පවතී. පසුගිය කාලයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දශක තුනකට ආසන්න කාලයක් තුළ යෝධ වැව යටතේ වන පෝෂිත වැව්වල නඩත්තු සහ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි පරිදි සිදු කර නොමැත. ඒ අනුව පෝෂිත ජලාශ 40ක් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ ‘I,H හා N’ ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීම

– ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක 48ක් බැගින් වූ ‘I, H හා N’ යන ගොඩනැඟිලි 03ක නිවාස ඒකක 144ක් පොලිස් පරීක්ෂක හා කණිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරින්ගේ නිල නිවාස ලෙස භාවිත කරනු ලබයි. එකී නිවාස වසර 50ක් පමණ පැරැණි වන අතර කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය
විසින් අනුමත කරන ලදී.

‘සොඳුරු පියස’ සහනදායී ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී පදනම පුළුල් කිරීම

– ‘සොඳුරු පියස’ සහනදායී ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී පදනම පුළුල් කිරීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලැබීමට එම නිවසෙහි භූමි ප්‍රමාණය වර්ග අඩි 1,000කට වඩා අඩු විය යුතු බවට තිබූ සීමාව වර්ග අඩි 1,500 දක්වා වැඩි කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආදර්ශ ගම්මාන වැඩසටහන තුළින් අපනයන ගම්මාන වැඩසටහන සමාජගත කිරීම

– රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අපනයන ගම්මාන වැඩසටහන හරහා ආදර්ශ ගම්මානවල ජීවත්වන පුද්ගලයින්ගේ ආර්ථික හා පාරිසරික සංවර්ධනය ලඟා කරගත හැකි බවට හඳුනාගනු ලැබ ඇත. ආදර්ශ ගම්මානවල ජීවත්වන ප්‍රතිලාභීන් වෙත තෝරා ගත් අපනයන වැවිලි ‍භෝග සාමූහිකව වගා කිරීම සඳහා අවශ්‍ය රෝපන ද්‍රව්‍ය, දැනුම හා අනෙකුත් තාක්ෂණික සහයෝගය ලබා දීම හෝ නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම මඟින් ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධන පහසුකම් සැලසිය හැකි වේ. ඒ අනුව, ආදර්ශ ගම්මාන ආශ්‍රිතව, සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව අපනයන ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පරිපාලන දිස්ත්‍රික්ක මට්ටමින් සමාදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම සඳහා 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත
සංශෝධනය කිරීම

– සමාදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී මෙතෙක් පැවති අධිකරණ කලාප, දිස්ත්‍රික්ක සහ කොට්ඨාස වෙනුවට පරිපාලන දිස්ත්‍රික්ක සඳහා සමාදාන විනිශ්චයකාරවරුන් පත් කළ හැකි වන පරිදි අදාළ විධිවිධාන ඇතුළත් කරමින් 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අධිකරණ සංකීර්ණයන්හි සහ ඒවායේ නිල නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදු කිරීම

– කොළඹ වාණිජ මාහාධිකරණ ගොඩනැඟිල්ල හා අධිකරණ සේවා කොමිෂන් සභා ගොඩනැඟිල්ල පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි ගොඩනැඟිලි සංකීර්ණයන්හි පවත්වාගෙන යනු ලබන අතර, ඒවායේ ඉපැරණිතාවය හේතුවෙන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. එමෙන්ම කොළඹ අධිකරණ නිල නිවාස සහ හලාවත දිසා/මහේස්ත්‍රාත් අධිකරණ සතු ගොඩනැඟිලිද කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව මතු වි තිබේ. ඒ අනුව, එම ඉදි කිරීම් කටයුතු රජය සතු ඉදි කිරීම් ආයතන මඟින් ඉටු කරවා ගැනීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය
ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නාය යාමේ අවදානමට ලක්ව ඇති කෑගල්ල අධිකරණ සංකීර්ණ‍ය පිහිටි භූමිය ස්ථාවර කිරීම

– වසර 80කට වඩා පැරණි ගොඩනැඟිලිවලින් යුත් කෑගල්ල අධිකරණ සංකීර්ණය පිහිටි භූමිය නාය යෑමේ අවධානමකට මුහුණ දී ඇත. එම අවදානමින් මුදවා ගැනීම සඳහා එම භූමිය ස්ථාවර කිරීම පිණිස අවශ්‍ය අරමුදල් සලසා ගැනිමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කරගැනීම

– උතුරු හා නැ‍ඟෙනහිර ප්‍රදේශයන්හි ගැටුම් පැවති අවධියේ ත්‍රිවිධ හමුදාව විසින් සිය භාරයට ගත් පෞද්ගලික ඉඩම්, එම ඉඩම්වල අයිතිකරුවන් වෙත නිදහස් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි. ඒ යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ පැවති මන්නාරම මුල්ලිකුලම් හි පිහිටි අක්කර 23ක හා මුලතිව් මුල්ලිවයික්කාල් හි පිහිටි අක්කර 53ක භූමි ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 224 සේනාංකය ස්ථාපිත කර ඇති ත්‍රිකුණාමලය තොප්පූර් හි අක්කර 03ක භූමි ප්‍රමාණයක් එහි මුල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. එසේම එම ප්‍රදේශවල පදිංචි කිරීමට නියමිත ජනතාවට සිය ජීවනෝපාය කටයුතු තිරසර අන්දමින් පවත්වාගෙන යාමට හැකිවන පරිදි හඳුනාගත් කුඩා වැව් 03ක් පිළිසකර කර එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කර ඒවා මුල් අයිතිකරුවන් වෙත භාර දීම සිදු කළ යුතු වේ. ඒ අනුව දැනට ත්‍රිවිධ හමුදාව භාවිත කරන ඉඩම් නිදහස් කිරීමට හැකි වන පරිදි එම පහසුකම් ප්‍රතිස්ථාපනය කිරීමට සහ එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කතරගම පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය

– දෙස් විදෙස් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ කතරගම පූජා භූමිය වෙත පැමිණෙන ජනතාවගේ සුවපහසුව සඳහා එම නගරය තුළ රථවාහන ගාල් කිරීමේ පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, ජලාපවාහන පහසුකම්, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් හා නවාතැන් පහසුකම් තවදුරටත් වැඩිදියුණු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, පොදු පහසුකම්, පොලිස් මුරපොළ, රථ ගාල්, ආරක්ෂක බැමි, විශ්‍රාම ශාලා හා වැඩිදියුණු කරන ලද මාර්ග පද්ධති යන අංගයන්ගෙන් යුක්තව කතරගම පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණය පිළිබඳ මූලෝපාය

– 2019 සිට 2023 දක්වා වසර 05ක කාලයක් තුළ ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණය පිළිබඳ මූලෝපාය ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම මූලෝපාය ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ අනෙකුත් පාර්ශ්වයන්ට සිය ජීවනෝපාය ඉහළ නංවා ගෙන ‍ඩිජිටල් තාක්ෂණයන්ගේ ප්‍රතිලාභ ලඟා කර ගත හැකි විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් සහභාගිත්වයෙන් යුතුව සකස් කර ඇති සයිබර් ආරක්ෂණ මූලෝපාය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය

– ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 12.4%ක් හෙවත් පුද්ගලයින් මිලියන 2.6ක් වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන අතර, එය වර්ෂ 2022 වන පමණ විට එම ජනගහනයෙන් 16.3% දක්වා පමණ වැඩි වෙතැයි අපේක්ෂා කෙරේ. රජය විසින් වැඩිහිටි ජනතාවගේ සුබසාධනය සහ රැකවරණය පිණිස විවිධ පියවර ගෙන තිබේ. එම තත්ත්වය වැඩිදුරටත් වර්ධනය කරමින් වැඩිහිටි පුද්ගලයින්ගේ ජීවනෝපාය සංවර්ධනය සහ අයිතිවාසිකම් රැකවරණය සඳහා සකස් කර ඇති ජාතික ප්‍රතිපත්තිය අදාළ ආයතන හා එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අපනයන වර්ධනය සඳහා වූ තොරතුරු තාක්ෂණ මූලාරම්භය ක්‍රියාවට නැංවීම

– අපනයන වර්ධනය දිරිමත් කිරීමේ ක්‍රමෝපායක් ලෙස තොරතුරු තාක්ෂණ මූලාරම්භයක් 2018 – 2020 තුන් අවුරුදු කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම මඟින් තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයේ අපනයනකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩසටහන තුළින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරීමට 2018 අයවැය මඟින් යෝජනා කර තිබිණි. ඒ අනුව සැලසුම් කර ඇති තොරතුරු තාක්ෂණ මූලාරම්භය වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නව ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම

– තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකයින් බිහි කරමින් නව රැකියා අවස්ථා හා ආදායම් මාර්ග උත්පාදනය කර උතුරු ප්‍රදේශයේ තිරසර සංවර්ධනයක් සිදු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව අපනයන වෙළඳපොළ කෙරෙහි ඉක්මණින් යොමු විය හැකි අන්දමින් වෘත්තීය සේවා ව්‍යාපාරවලට සහ ව්‍යවසායකයන්ට ඉතා පහසුවෙන් සහ පිරිවැය ඵලදායී අන්දමට සිය කාර්යාල ස්ථාපිත කර හැකි වන පරිදි අවශ්‍ය සේවා සැපයීම සඳහා නව ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියානු රජයේ මූල්‍ය සහායද සහිතව යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල පනත සංශෝධනය කිරීම

– ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිකයින්ට විවිධ සහන සලසන ශ්‍රම වාසනා අරමුදලට දායකත්වය සපයන ශ්‍රම වාසනා ලොතරැයිය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කටුපොත – බමුණාකොටුව – පඬුවස්නුවර ජල සම්පාදන ව්‍යාපෘතිය

– කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ වෙසෙන 133,000ක පමණ ජනතාව වෙත පානීය ජලය සැපයීම සඳහා ‍ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති කටුපොත – බමුණාකොටුව – පඬුවස්නුවර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් M/s. Kolon Global Corporation වෙතින් ඉදිරිපත් වී ඇති යෝජනාව ඇගයීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා කමිටුව හා ව්‍යාපෘති කමිටුව වෙත යොමු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක ආශ්‍රිත ප්‍රදේශවල නළ ජලය බෙදාහැරීම

– ජලය හිඟ ප්‍රදේශවලට කඩිනමින් ජල සම්පාදන පහසුකම් ලබා දීමේ අරමුණ ඇතිව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක ආශ්‍රිත ප්‍රදේශවල නළ ජලය බෙදාහැරීමේ පද්ධතියේ අතරමැදි පිරවුම ව්‍යාපෘතිය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති M/s Sunpower Constructions (Pvt) Ltd ආයතනයේ යෝජනාව ඇගයීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා කමිටුව වෙත යොමු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික රෝහලේ උගුර, කණ, නාසය (ENT) ආශ්‍රිත සත්කාර සේවා සැපයීම් පහසුකම් වැඩිදියුණු කිරීම

– උගුර, කණ, නාසය (ENT) ආශ්‍රිත දුබලතාවයන් වළක්වා ගැනීම, හඳුනාගැනීම සහ එම දුර්වලතාවයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා පවතින පහසුකම් සංවර්ධනය කිරීම සහ ජාතික රෝහල, ශික්ෂණ රෝහල්, පළාත් මහ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ මූලික රෝහල්වල ධාරිතාවය වැඩිදියුණු කිරීම සඳහා ජර්මනියේ M/S VAMED Engineering Deutschland GmbH ආයතනය විසින් සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව ඇගයීමට සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා කටයුතු සිදු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නියමු දියත් යාත්‍රා දෙකක් මිල දී ගැනීම

– කොළඹ වරාය තුළ කාර්යක්ෂම නාවික සේවාවක් සැපයීමට අවශ්‍ය වන නියමු යාත්‍රා දෙකක්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 3.12ක මුදලකට සීමාසහිත කොළඹ ඩොක්යාර්ඩ් සමාගම වෙත පිරිනැමීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙගාවොට් 100ක සුළං බලාගාරයක් ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම

– මෙගාවොට් 100ක සුළං බලාගාරයක් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඩෙන්මාර්කයේ M/s Vestas Asia Pacific A/S ආයතනය වෙත පිරිනැමීම පිණිස සහ ඒ සඳහා වන ගිවිසුම්වලට එළඹීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඛාදනයට ලක් වී ඇති කැලණි ග‍ඟේ වම් ඉවුරෙහි වානේ තහඩු බැම්මක් ඉදි කිරීම

– කැලණි ගං ඉවුර කොළොන්නාව හල්මුල්ල ප්‍රදේශයේ තදින් ඛාදනයට ලක් වී ඇති අතර, ඒ හේතුවෙන් පවුල් 200ක් පමණ පීඩාවට පත්ව ඇති බව හඳුනා ගන්නා ලදී. එයට පිළියමක් ලෙස ගං ඉවුර දිගේ ව‍ානේ තහඩු බැම්මක් ඉදිකිරීම සුදුසු බවට යෝජනා වී ඇත. ඒ අනුව, රුපියල් මිලියන 604ක ආයෝජනයක් සහිතව ඉදි කිරීම්ක ටයුතු සිදු කිරීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පේසාලේ ධීවර වරාය ඉදි කිරීම

– උතුරු පළාතේ ධීවර යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීම, ජලජීවී වගා සංවර්ධනය හා ජීවනෝපාය සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන උතුරු පළාතේ තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පේසාලේ ධීවර වරාය ඉදි කිරීම සඳහා සැලසුම් කර තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 5,267ක ආයෝජනයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ මෙම ව්‍යාපෘතිය සඳහා ඉදි කිරීම් සමාගමක් තෝරා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තෙල්දෙණිය, පූ‍ගොඩ හා වැලිමඩ අධිකරණ සංකීර්ණ ඉදි කිරීම

– අධිකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් ‍ තෙල්දෙණිය, පූ‍ගොඩ හා වැලිමඩ අධිකරණ සංකීර්ණයන් සඳහා නව ගොඩනැඟිලි කිහිපයක් ඉදි කරවා ගැනීමේ අවශ්‍යතාව සලකා රජය සතු ඉදි කිරීම් ආයතන මඟින් එම ඉදි කිරීම් කටයුතු සිදු කරවා ගැනීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුකූල වන පරිදි 2017 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම ගැනීම

– 2018 වර්ෂය තුළ අවස්ථා කීපයකදී සිදු කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධන අනුව මේ වන විට පවත්නා අමාත්‍යාංශ සංඛ්‍යාව 43 දක්වා අඩු වී ඇති බැවින්, එම අමාත්‍යාංශවල විෂය පථයට අනුකූල වන පරිදි 2018 වර්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පසුගිය දෙසැම්බර් මාසයේ සම්මත කරන ලද දරන විසර්ජන පනතේ අඩංගු ප්‍රතිපාදන නව අමාත්‍යාංශ අතර බෙදා හැරීම මඟින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පැන නැඟී තිබේ. ඒ අනුව උක්ත පනත මඟින් පනවා ඇති සමස්ත වියදම් සහ උපරිම ණය ගැනීම් සීමාවන් වෙනසක් නොවන පරිදි එම විසර්ජන පනත සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය

– ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචාරණය කිරීම සඳහා පුළුල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, වෙළඳ ප්‍රචාරක ආයතන 06ක් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 314ක මුදලකට ජේ. වෝල්ටර් තොම්සන් ආයතනය වෙත පිරිනැමීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කරන ලද පවුල් සඳහා නිවාස සැපයීම

– උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල අවතැන්වූවන් සඳහා නිවාස සැපයීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස 65,000ක් ඉදි කිරීම සඳහා සැලසුම් කර තිබේ. එහි පළමු අදියර ලෙස නිවාස ඒකක 28,000ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි එක් නිවාස ඒකකයක් රුපියල් 1,280,000/- පිරිවැයකට යටත්ව ND Enterprises (India), Yapka Developers (Pvt.) Ltd. (Sri Lanka) සහ Archedium (Pvt.) Ltd. (Sri Lanka) සමාගම් සමූහය වෙත පිරිනැමීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නව ජනාවාසවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම

– ආදර්ශ ගම්මාන ඇතුළු නව ජනාවාසවල ප්‍රතිලාභීන්ගේ පහසුව උදෙසා ප්‍රවේශ මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 15:08
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්