පළාත් කිහිපයක වර්ෂ අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයට නිකුත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
බස්නාහිර පළාතේ 10 සහ 11 ශ්‍රේණි සඳහා වන වසර අවසාන වාර විභාගය තාවකාලිකව අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ.
ජාතික විභාග මෙන්ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් පවත්වන පාසල් වාර විභාග කිහිපයකම ප්‍රශ්න පත්‍ර පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරුවීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවුණා.
බස්නාහිර පළාතේ 10 සහ 11 ශ්‍රේණිවල විද්‍යාව සහ ඉතිහාසය විෂය පැවැත්විමට නියමිත දිනට පෙරදින රාත්‍රීයේ එම ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
මේ හේතුවෙන් බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමටයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ. අවලංගු කළ විභාග පැවැත්වෙන දිනයන් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මෙවන් පසුබිමක එළඹෙන අගහරුවාදා බස්නාහිර පළාතේ පාසල් වල 11 ශ්‍රේණියේ සිසුන්ට පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍ර ලේඛනය බවට පැවසෙන ලේඛනයක් ද මේ වන විට සමාජ්ය මාධ්‍ය තුළ සංසරණය වන බව වාර්තා වනවා.
එමෙන්ම ලබන සතියේ පැවැත්වීමට නියමිත සබරගමු පළාත් පාසල් වසර අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමග මෙම අර්බුදය වඩාත් උග්‍ර වී තිබෙනවා.
