පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විවෘත කළ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර තිබෙනවා.
ඒ කොන්සියුලර් සේවා වැඩිදියුණු කිරීමේ ප්‍රායෝගික පියවරක් මෙන්ම ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙසයි.
පසුගියදා පිලිපීනයේ ඩාවෝ නගරයේදී ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස මෙම කොන්සියුලර් කාර්යාලය විවෘත කර තිබෙනවා.
වෙළෙඳ, සංචාරක, ආයෝජන, අධ්‍යාපන සහ සංස්කෘතික ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත්, දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ.
මින්ඩනාඕ ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම පිලිපීන ජාතිකයන්ට ද කොන්සියුලර් සේවා පහසුවෙන් ලබා ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමිනුයි ඩාවෝ නගරය මෙම කාර්යාලය සඳහා තෝරාගෙන තිබෙන්නේ.
මීට පෙර කොන්සියුලර් සේවා ලබා ගැනීම සඳහා බොහෝ පිරිසකට මැනිලා නුවර වෙත ගමන් කිරීමට සිදුව තිබූ අතර, නව කාර්යාලය පිහිටුවීම මගින් කාලය සහ පිරිවැය ඉතිරි කර ගනිමින් අදාළ සේවා ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා.
කොන්සියුලර් සේවාවන්ට අමතරව, දකුණු පිලිපීනයේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් වන ඩාවෝ නගරය හරහා ශ්‍රී ලංකාව සහ මින්ඩනාඕ අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපනික සහ සංස්කෘතික හුවමාරු වැඩිදියුණු කිරීමට ද මින් නව අවස්ථා උදා වනවා.
මෙම නව කොන්සියුලර් කාර්යාලය තෝරාගත් කොන්සියුලර් සේවා සැපයීමට අමතරව, මින්ඩනාඕහි ද්වීපාර්ශ්වික ආර්ථික, සංස්කෘතික හා ජනතා සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියා කරනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
නවීන පහසුකම්වලින් සමන්විත මෙම කාර්යාලය කාර්යක්ෂම, පහසු සහ ජනතාවට හිතකාමී කොන්සියුලර් සේවාවක් සැපයීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි වසරවලදී දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ශක්තිමත් සහයෝගීතාවක් ගොඩනැගීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් 2026 ජූලි 25 වන දින ඩාවෝ නගරයේදී මෙම කොන්සියුලර් කාර්යාලය විවෘත කළ අතර, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා, තානාපති කාර්යාලයේ අනුයුක්ත කොන්සුල් නිලධාරිනී චතුරි කල්පනා, මින්ඩනාඕ හි ශ්‍රී ලංකා කොන්සියුලර් විලියම් චෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හැරල්ඩ් ඩුටර්ටේ සහ ඩාවෝ නගරයේ නගර සභා මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය හා ප්‍රදේශීය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී එක්වුණා.
