ඇමෙරිකාව ප්‍රහාර නවතා දමන තාක් තමන් ද ප්‍රතිප්‍රහාර නවත්වන බව ඉරානය පවසනවා.
ඇමෙරිකාව ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර අත්හිටුවන තාක් කල් තමන් ද ප්‍රතිප්‍රහාර නතර කරන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ, ඉරානයේ ස්ථාවරය තවදුරටත් “ප්‍රහාරයකට ප්‍රහාරයක්” යන ප්‍රතිපත්තිය මත පදනම් වන බවයි.
ප්‍රහාර නතර වුවහොත් ඉරානය ද සිය මෙහෙයුම් නවත්වන බවත්, එම පණිවුඩය දැනටමත් ඇමෙරිකාවට දැනුම් දී ඇති බවත් එම නිලධාරියා පවසා තිබෙනවා.
ඇමෙරිකාව දින 13ක් පුරා අඛණ්ඩව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පෙන්ටගනය පසුගිය සිකුරාදා රාත්‍රියේ එම මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
ඒ අනුව සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි නව ඇමෙරිකානු ප්‍රහාර වාර්තා වී නැහැ.
ඉරානය ද මීට පෙර සෑම රාත්‍රියකම ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටි අසල්වැසි රටවලට ප්‍රතිප්‍රහාර එල්ල කළද, පසුගිය දින දෙක තුළ එවැනි ප්‍රහාර කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මේ අතර එක්සත් ජාතීන්හි ඇමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් ප්‍රකාශ කර ඇත්තේ, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට වැඩි ඉඩක් ලබාදීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.
