මෙම වසරේ ගෙවුනු මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 67,000 ඉක්මවා තිබෙනවා.
ගත වු දින 10 තුළ පමණක් ඩෙංගු රෝගීන් 11,764 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා.
මේ අතර ඩෙංගු රෝගය සීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුනු කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට යළි විවෘත කරනවා. ඩෙංගු වසංගතය පාලනය කර ගැනීම සදහා රට පුරා දැවැන්ත මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
ඩෙංගු අධි වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 67,143 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඩෙංගු මරණ 47ක් සිදුව ඇති අතර ගත වු දින 10 තුළ පමණක් ඩෙංගු රෝගීන් 11,764 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඩෙංගු රෝගය හේතුවෙන් දෛනිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවා ඇති බව ඩෙංගු මර්දනය ඒකකය සදහන් කරනවා. ඒ අනුව පසුගිය 8 වනදා රෝගීන් 1300ක් / 9 වනදා රෝගීන් 1030ක් සහ 10 වනදා රෝගීන් 1079 දෙනෙකු වාර්තා වි තිබෙනවා. දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප ද 175 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිසුන් රැසකට ඩෙංගු රෝගය වැලදීම හේතුවෙන් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය පසුගියදා තාවකාලිකව වසා දැමුනා. එම විශ්වවිද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරිමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කල අතර යුද හමුදාව සහ නාවික හමුදාවේ සහාය ද ඊට ලැබී තිබුණා. ඒ අනුව හෙට දිනයේ දී විශ්වවිද්‍යාලය යළි විවෘත කරන බව ලේඛකාධිකාරී ආචාර්ය චානී ඉඹුල්ගොඩ මහත්මිය පවසනවා.
මේ අතර ඩෙංගු අධි වසංගතය පාලනය කිරීම සදහා රට පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ අධි අවදානමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගණේමුල්ල ගලහිටියාව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ රෝහල් රැසක ඩෙංගු රෝගය වැලදුනු පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔවුන්ගෙන් බහුතරයක් කොළඹ ඇතුලු නගරාශ්‍රිත ප්‍රදේශවල රැකියාවල නිරත වූවන් බවටයි වාර්තා වන්නේ.
කළුතර දොඩංගොඩ නගරය සහ ඒ අවට ප්‍රදේශ පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. රාජ්‍ය ආයතන නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන් ද ඊට එක්ව සිටියා.
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නගර සභාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව සංවිධාන කළ ඩෙංගු මර්දන වැඩසටහනක් මහරගම නගරයේ දී පැවැත්වුණා.
