ඉදිරියේදී ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.
කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්විමට ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග හමුවේ ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ රජය සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතිනවා. මහා පරිමාණ කෘෂිකර්මාන්තය මෙන්ම ගෙවතු වගාව පිළිබඳ අවධානය යොමු කරමින් සෑම බිම් අගලකම වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි අග්‍රාමාත්‍යවරයා ගොවිජන සේවා කොමසාරිස්වරයාට හා කෘෂි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ යටතේ ගෙවතු වගාව දිරිමත් කිරීමට ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අවශ්‍ය පොහොර හා බීජ නිකුත් කිරීමටයි උපදෙස් ලබා දී ඇත්තේ. ඊට අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය කෘෂි නිලධාරීන් හරහා ජනතාවට ලබා දීමට නියමිතයි.
කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ගෙවතු වගාවට යොමුවීම වැදගත් වනවා. එසේ කාලය ප්‍රයෝජනවත් ලෙස යොදවමින් මෙම උවදුර පාලනයට රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය වන ලෙසයි අග්‍රාමාත්‍යවරයා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.
