“සුපිලිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාවෙන් රාජ්‍ය සේවයේ සුපිලිපන් සංස්කෘතියක් සඳහා වන වැඩසටහන අද ආරම්භ කෙරුණා.
රාජ්‍ය සේවයේ ගුණාත්මක කාර්යක්ෂම සහ පාරිශුද්ධ බව ඉහළ නංවමින් දූෂණයෙන් තොර ආදර්ශමත් රාජ්‍ය සේවාවක් වෙනුවෙන් සුපිළිපන් සතිය ක්‍රියාත්මකයි.
ජනාධිපති ලේකම් කාර්යාලය ප්රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික සුපිලිපන් දිවුරුම ලබාදීම සහ ආචාරධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු මෙම සතිය ආරම්භ කෙරුණා.
මෙතෙක් පැවති රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් වංචාවෙන් දූෂණයෙන් තොර ආදර්ශමත් රාජ්‍ය පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් සුපිලිපන් සතිය අද සිට ක්‍රියාත්මක කෙරෙනවා.
සුපිලිපන් සංස්කෘතියක් සඳහා වන මෙම ප්‍රවේශය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය විශේෂ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.
පසුගිය කාලය පුරා රට මුහුණ දුන් ආර්ථික අර්බුදයට වංචා දූෂණ සහ වැරදි ප්‍රතිපත්තිමය තීරණ සෘජු ලෙස බලපෑ බවටයි ජනතාව චෝදනා කරන්නේ.
එම තත්ත්වය හොදින් හදුනාගත් වත්මන් රජය ජනතා අභිලාෂයන්ට සහ ජන වරමට ගරු කරන සුපිලිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් ජාතික සුපිලිපන් සතිය ක්‍රියාත්මක කරනවා.
ජාතික සුපිලිපන් සතිය ආරම්භ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ප්රමුඛ සියලු රාජ්‍ය ආයතනවල සුපිලිපන් දිවුරුම ලබාදීම අද පෙරවරුවේ සිදුකෙරුණා.
ආචාර්ධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීම ද ඊට සමගාමීව සිදුවුණා.
සුපිලිපන් සතිය ආරම්භ කරමින් රාජ්‍ය පරිපාලන සහ පළාත් පාලන අමාත්‍යංශයේ දිවුරුම්දීම අද උදෑසන සිදුකෙරුණා.
අමාත්‍යංශ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කටයුතු සිදුකෙරුණේ.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සුපිලිපන් සතිය ආරම්භ කිරීම සිදුකෙරුණා.
පසුගිය වසර දෙකක කාලය තුළ ජනතාවට රට ගැන සුබවාදී ආකල්පයක් ඇතිකර ගැනීමට හැකිවූ බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
සුපිලිපන් ජාතික මෙහෙයුම අරඹමින් ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ද සුපිලිපන් දිවුරුම ලබාදීම අද උදෑසන සිදුකෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ දී ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණේ සුපිලිපන් සතිය ආරම්භ කරමින්.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ද මෙම කටයුතු අද උදෑසන ක්‍රියාත්මක කෙරුණා.
සුපිළිපන් සතිය විශේෂ වැඩසටහන් රැසක් සහිතව සැළසුම් කර තිබෙනවා.
අද දිනයේ දී ආයතනික සුපිළිපන් බව ප්‍රවර්ධනය කිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර හෙට දිනයේ දී මූල්‍ය, ඩිජිටල්, ව්‍යවසායකත්ව හා තාක්ෂණික සුපිලිපන් බව ප්‍රවර්ධනය කිරීම සැළසුමයි.
ජූලි 29 වනදා නම්කර තිබෙන්නේ අධ්‍යාත්මික, ආචාරධර්මීය, සංස්කෘතික සහ සමාජීය සුපිලිපන් බව වෙනුවෙන්.
ජූලි 30 වනදා මෙහෙයුම් යටිතල පහසුකම් සේවා සැපයීමේ සහ ශ්‍රම සුපිලිපන් බව ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් සිදුකෙරෙනු ඇත.
ජූලි 31 වනදා වෙන්කර ඇත්තේ පාරිසරික, සම්පත් කළමනාකරණ, ග්‍රාමීය සහ ප්‍රජා සවිබල ගැන්වීමේ සුපිලිපන් බව ප්‍රවර්ධනය සඳහායි.
ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳ පැමිණිලි සෑම රාජ්‍ය ආයතනයකම ස්ථාපිත අභ්‍යන්තර කටයුතු ඒකක මගින් භාර ගැනෙනවා.
ජනතාවට කිව් ආර් කේත, විද්‍යුත් තැපෑල, ලිපි, දුරකතන ඇමතුම් හෝ වෙබ් පණිවුඩ ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
පැමිණිලි සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් ගන්නා ක්‍රියාමාර්ග නිරීක්ෂණය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විශේෂ ඩිජිටල් පද්ධතියක් ද ක්‍රියාත්මකයි.
