සෑම වසරකම ඔක්තෝබර් 05 වැනි දිනට යෙදෙන ලෝක ගුරු දිනය ඊයේ (05) දිනයට යෙදී තිබුණද ඊට සමගාමීව, ශ්‍රී ලංකාවේ ජාතික ගුරු දිනය අද (06) දින සමරනු ලබනවා.
1994 වසරේදී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) විසින් ගෝලීයව මෙම දිනය සැමරීම සඳහා ඔක්තෝබර් 5 වැනිදා නම් කරන ලදී.
1994 වසරේ සිට මෙය නිල වශයෙන් සමරන අතර, එයට හේතුව 1966 ඔක්තෝබර් මස 05 වැනි දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ යුනෙස්කෝ එක්ව ගුරුවරුන්ගේ තත්ත්වය පිළිබඳ නිර්දේශය (Recommendation concerning the Status of Teachers) නමැති ප්රඥප්තියට අත්සන් තැබීමයි.
ගෞරවයට සුදුසුම තැනැත්තා ලෙස සමාජයේ වන්දනීයත්වයට පත්වන ගුරුවරයා වෙනුවෙන් මෙවර ලෝක ගුරු දිනයේ තේමාව වී ඇත්තේ ‘‘ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත සකස් කිරීම’’ යන්නයි.
මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර ඇත්තේ, මෙවර දීපව්‍යාප්තව මෙරට සමරනු ලබන ගුරු ගුණ සැමරුම් උත්සවවලදී පිදුම් ලබන ගුරු භවතුන් සියල්ලන්ටම තමන් හෘදයාංගමව සුබ පතන බවයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ඇය පෙන්වා දෙන්නේ, අධ්‍යාපන පද්ධතියේ නව පරිවර්තනීය ගමනක් සැලසුම් කරමින්, ‘‘ගුරු හඬට සවන් දී ගුරුවරුන් අගයන අතරම අධ්‍යාපනය සඳහා නව සමාජ කතිකාවතක ඉදිරියට’’ යන්නට රජය විසින් පියවර ඔසවා ඇති බවයි.
