ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තු දෙකක් සහ යෝජනා සම්මතයක් පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (02) රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සළකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමැතිය ලබා දීම සිදුවුණා.
ඒ අනුව, ගැබිනි මව්වරුන්ට පෝෂණ ආහාර පැකේජයක් ලබා දීමට අදාළව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව මෙහිදී සලකා බැලුවා.
සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම පිණිස අයවැය යෝජනා යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන භාවිතා කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
තවද, මහනුවර උතුරු පාතදුම්බර ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය සඳහා චීන EXIM බැංකුව විසින් නොගෙවූ බිල්පත් පියවීම සඳහා සහ ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීමට අදාළව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව ද සාකච්ඡාවට ලක් කළ අතර, එම ඇස්තමේන්තු දෙකටම කාරක සභාවේ අනුමැතිය හිමිවුණා.
තවද ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය සුරක්ෂණය පිළිබඳ ගිවිසුමට අදාළ යෝජනා සම්මතය ද සාකච්ඡාවලින් පසුව කාරක සභාව විසින් අනුමත කළා.
මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, නීතිඥ රවුෆ් හකීම්, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍ය ආරියරත්න, සුනිල් රාජපක්ෂ, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියා.
