රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතායි පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබෙනවා.
පෙත්සම්කරු මේ තුළින් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමි වී ඇති හිමිකම් අවලංගු කිරීම සදහා රජය මෙම කෙටුම්පත පසුගිය 07 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර ඇති බවයි.
යෝජිත පනත් කෙටුම්පතේ 1 සිට 4 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වී ඇති බවද පෙත්සමෙන් පෙන්වා දෙනවා.
ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් හෝ කිහිපයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ස්වෛරීභාවය හා ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් සිදුවන බවටයි පෙත්සමෙන් චෝදනා කර තිබෙන්නේ.
සමස්තයක් ලෙස යේජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනයවීමක් සිදුවන බවද පෙත්සම්කරු පෙන්වා දෙනවා.
යෝජිත පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති 1 / 3 /4 සහ 12 (1) ව්‍යවස්ථාවන්හි සඳහන් මූලික අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන බවද පෙත්සම්කරු පවසනවා.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට නිගමනයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.