fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම් සිය ධුරයේ රාජකාරී අරඹයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2023 10:27

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම් සිය ධුරයේ රාජකාරී අරඹයි

පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම පසුගියදා සිදු වුණා.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ සිය නිල ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව කුලරත්න මහතා සිය ධුරයේ කටයුතු ආරම්භ කළේය.

අද (19) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කරමින් කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා 2023 සැප්තැම්බර් 15 වැනි දින සිට පත් කර ඇති බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට
නිවේදනය කළේය.

චමින්ද කුලරත්න මහතා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු වේ. තවද ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ හා එක්සත් රාජධානියේ බකින්හැම්ෂයර් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු ද වේ. එමෙන්ම ඒ මහතා 2005 වසරේ සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යාවජීව සාමාජිකයෙකු මෙන්ම සාමාජිකයෙකු ද වේ.

ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුලු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් වසර 20ක පමණ කාලයක් පුරා හොබවා තිබේ.

ඒ මහතා ව්‍යවස්ථාපිත නීතිය, පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාදාමයන් පිළිබඳව ද, රාජ්‍ය පරිපාලනය හා මුදල් රෙගුලාසි පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම්
සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකි.

කුලරත්න මහතා එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දුනීසියාව, ජපානය ඇතුලු රටවල් රැසක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා පුහුණු පාඨමාලා රැසකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ඇත.

ලංකා බැංකුව, මර්චන්ට් බැංකුව, MBSL ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (GOH), සී/ස මගනැගුම ඉමල්ෂන් පුද්ගලික සමාගම, Colombo Financial City Foundering Ltd. ඇතුලු රාජ්‍ය ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩලයන්හි සාමාජිකයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කර තිබේ.

තවද, කුලරත්න මහතා එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයෙකු වශයෙන් සේවය කරන ලද කාලවකවානුවේදී තානාපති නිලධාරීන්ගේ පැරණිතම සංගමය වන කන්සියුලර් නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව නියෝජනය කළ පළමු දකුණු ආසියානු රාජතාන්ත්‍රිකයා ද වේ.

නීතීඥ යෝග්‍යා කුලරත්න මහත්මිය සමග විවාහ වී සිටින චමින්ද කුලරත්න මහතා පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියකගේ ආදරණීය පියෙකි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2023 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්