වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 108 ක් ඒවායේ මුල් පදිංචිකරුවන්ට ලබාදීම අද සිදු කෙරුණා.
යුද සමයේදී ආරක්ෂක අංශ භාවිත කළ යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් යළි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම සිදුවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පොරොන්දුවකට අනුවයි. පෙබරවාරි 4 වනදාට යෙදෙන නිදහස් දින සැමරුමට පෙර උතුරේ ඉඩම් නිදහස් කර මුල් පදිංචිකරුවන්ට ලබාදෙන බවට ජනාධිපතිවරයා පසුගියදා පොරොන්දු වුණා. යුද්ධය හේතුවෙන් අවතැන් වී තවමත් පේදුරුතුඩුවේ කඳවුරු 9 ක රැඳී සිටින පවුල් 75ක් සඳහා උතුරු පලාලි ප්‍රදේශයෙන් රජය සතු ඉඩම් අක්කර දහතුනක් මෙහිදී බෙදාදීමට කටයුතු කෙරුණා. මේ අනුව අද දිනයේදී පවුල් 197ක් සඳහා ඉඩම් ප්රදානය කෙරුණා. තවත් පවුල් 40 ක් සදහාද අතරමැදි කදවුර පිහිටි අක්කර විසිහයක් ඉදිරියේදී බෙදාදීමටද නියමිතයි. විනිවිදභාවයෙන් යුතුව අදාළ ඉඩම් හිමිකරුවන් හදුනා ගෙන තිබුණා. උතුරු පළාතේ ආරක්ෂක ප්‍රධානීන් විසින් අදාළ ඉඩම්වල හිමිකම් යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිල වශයෙන් භාර දුන්නා. මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවාන්ද, අංගජන් රාමනාදන් , එම්.ඒ සුමන්තියන් ඇතුළු මන්ත්‍රීවරුන් ද සහභාගී වුණා.
