ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාගය 4 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.
අගවිනිසුරුවරයා ප්රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි අද දිනයේද පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ. එහිදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහතික කිරීමට ජනාධිපතිවරයා බැදී සිටින බවයි. එම වගකීම වඩාත් පුළුල් කරමින් විසිවන සංශෝධනය තුළින් මැතිවරණ කොමිසම වෙත ශක්තිමත් නීතිමය පදනමක් සලසා දී ඇති බවද ඔහු පැවසුවා.
19 වන සංශෝධනය තුළින් අහිමි කෙරුණු ජනාධිපතිවරයා සතු මුක්තිය 20 වන සංශෝධනය තුළින් යළි ව්‍යවස්ථාවට එක් කිරීමට යෝජනා කර තිබෙනවා. මේ තුළින් ජනාධිපතිවෙත ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන විධායක බලය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවද නීතිපතිවරයා සදහන් කළා. ජනාධිපතිවරයා සතු මුක්තිය යළි ස්ථාපනය හරහා ජනපතිගේ නිල කටයුතු අභියෝගයට ලක් කිරීමට නොහැකි වන බවටත් ඒ තුළින් අධිකරණය සතු බලතල කප්පාදුවන බවටත් පෙත්සම් කරුවන් චෝදනා කර තිබුණා. එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ නීතිපතිවරයා කියා සිටියේ ජනපති වෙත මුක්තිය යළි ස්ථාපනය තුළින් අධිකරණ බලය කිසිලෙසකින්වත් කප්පාදුවීමක් සිදු නොවන බවයි.
ව්‍යවස්ථාවට අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකීමට බැදී සිටින හෙයින් මුක්තිය යළි ස්ථාපනය තුළින් ජනපතිගේ නිල කටයුතු පරික්ෂාවට ලක්කිරිමට තිබූ අවස්ථාව අහිමි වන බවට පෙත්සම්කරුවන් නගන තර්කය පිළිගත නොහැකි බවද නීතිපතිවරයා පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවට පත්වූ දින සිට වසරක් ගෙවී ගිය පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සදහා විසිවන සංශෝධන පනත් කෙටුම්පත තුළින් ජනපතිට බලය පවරා තිබෙනවා. එහෙත් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ හදුන්වාදීමට යෝජිත සංශෝධන තුළින් පාර්ලිමේන්තුව තේරී පත්වූ දින සිට වසර දෙකහමාරක් නික්ම යාමෙන් පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපතිට හැකි බවට නව සංශෝධනයක් එක්කර ඇතැයි නීතිපතිවරයා පැවසුවා.
පාර්ලිමේන්තුව නිසි පරිදී ක්‍රියාත්මක නොවන අවස්ථාවක මහජන යහපත උදෙසා එය විසිරුවා හැර යළි නව මහජන නියෝජිතයන් තේරී පත්කර ගැනීමේ අවස්ථාව ජනතාවට උදාකර දීමට මෙමගින් ජනපතිට හැකිවනවා. ඒ තුළින් මහජන පරාමාධිපත්‍ය වඩා ශක්තිමත් වන බවයි නීතිපතිවරයා පෙන්වා දුන්නේ. පාර්ලිමෙන්තුව මගින් ප්‍රතික්ෂේප කරන පනත් කෙටුම්පතක් යළි ජනමත විචාරණයක් සදහා යොමු කිරීමට යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් ජනපතිට බලය පවරා ඇති බවත්,ඒ තුළින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවත් පෙත්සම්කරුවන් පවසා තිබුණා.
එහෙත් එය එසේ නොවන බවටයි නීතිපතිවරයා තර්ක කළේ. යම් පාර්ලිමේන්තුවක් බල අරගලයක් මත යම් පනත් කෙටුම්පතක් ප්‍රතික්ෂේප කරන අවස්ථාවක මහජන යහපත උදෙසා එම කෙටුම්පත ජනමත විචාරණයක් හරහා සෘජුවම මහජනයා හමුවේ තැබීමට මෙම පනත් කෙටුම්පත තුළින් ජනපතිට බලය පවරා ඇති බවත් ඉන් ජනතා පරිමාධිපත්‍ය උල්ලංඝනය වන්නේ නැති බවත් නීතිපතිවරයා පැවසුවා. පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා.