ග්‍රාමීය මට්ටමින් සිටින පාරම්පරික කලාකරුවන්ගේ දැනුම සහ කුසලතාවයන් ඔවුන්ගේ ජීවන ගමන නිමා වීමත් සමඟ අවසන් වීමට ඉඩ නොතබා මතු පරපුර වෙත දායාද කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.
ඒ පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් අවධානය යොමුවීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ඊයේ (29) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ අමතමිනි.
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් දෙසීය දෙනෙකු පමණ මෙහිදී ඇගැයීමට ලක් කෙරුණු අතර විශිෂ්ටතා සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙම සම්මාන උලෙළ මෙවර සංවිධානය කරන ලද්දේ 34 වන වරටයි.
මානව දයාවෙන් පිරි සමාජයක් බිහිකිරීමට කලාකරුවා ඉටුකරන මෙහෙවර මෙහිදී ඇගැයිමට ලක් කළ ජනාධිපතිතුමා මෙවන් සම්මාන උලෙළ සංවිධානය කිරීම තුළින් අවදි වන්නේ කලාකරුවන් ජාතිය වෙනුවෙන් ඉටුකරන එම විශිෂ්ට මෙහෙවර බව ද ප්‍රකාශ කළේය.
දේශීය සිනමාව, වේදිකාව හා ටෙලිනාට්‍ය කලාව මෙන්ම ලේඛන කලාව රැක ගනිමින් ප්රබුද්ධ ජන මතයක් ගොඩනැගීම වෙනුවෙන් එදා මෙදා තුර යුග මෙහෙවරක් ඉටුකළ සියලු කලාකරුවන් වෙත මෙහිදී ජනාධිපතිතුමා සිය ප්‍රණාමය පුද කර සිටියා.
හේමා ප්‍රේමදාස මැතිණිය ද, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඞ්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, සරත්චන්ද්‍ර එදිරිසිංහ යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් මීට එක්ව සිටියහ.
