වෙලාව රෑ 12ට වගේ ඇති. හැමදාම උදේට ගමේ ගෙදර කුරුලු ලෑල්ලට එන ලේනාගේ සද්දෙ වගේ නිතර ටිං ටිං ගාන මැසෙන්ජරේ “ දැන්වත් නිදාගනින් ගෑණියේ“ කියා මොර දෙයි. එහෙං අර රැවුලා ය. මේ රැවුලා හැමදාම නිදි මරන මේ ගැහැණියට නිදාගන්න යැයි කියා තර්ජනය කරන්නේය. එහෙත් අපි නිදා ගනියිද මිත්‍රවරුනි?? නැත නැත.
හෙට ඔපීසියට යා යුතුය. නොයා ඉන්නට සිතුණත් එයද කළ නොහැකිය. ඇස් කෙවෙනි තද කරන්, පස් මහා බැලුම් බැලුවේ දොස් අහන්නට හෝ හිතාගෙන, හිස් නොවූ යමක් ලිවීමටය. ඉතින් අර රැවුලා ගේ තර්ජනය නොතකා මේ සටහන ලිවිය යුතුමය. ඕහ්..මට එක දෙයක් කියන්නට අමතක විය. මෙතෙක් වෙලා මා ලියූ වචන ස්වල්පයෙහි මාතෘකාව “ හමුවෙන්න තවම හැකි කොම්රේඩ්“ කියා තිබුණාට එය එසේ නොවේය. ඒ මගේ හෑල්ලය. දැන් ඔබ ආයෙත් මුල සිට කියවා බැලුවොත් එය තේරුම් ගනු ඇත.
මේක ටිකක් දිග සටහනක් වුවහොත් සමාවෙන්න. ඒත් මේ ටික නොලිව්වොත් හෙන අඩුවකි.
ඉතින් දැන් ඔහොමයි, දැන් මා සූදානම් වන්නේ එක් කතාවක් කීමටයි.
වෙලාව රෑ 12.05ට විතර ඇති.මැසෙන්ජරේ තවම ටිං ටිං ගායි.රැවුලා මදකට අමතක කළෙමි. නිදි මත බේරි බේරි වුවද කොම්රේඩ් අතට ගෙන පෙරළා බලන්නට වූයේ මේ යෝධයා කොයි වගේ මිනිහෙක්දැයි බැලීමටය.පුදනකොටම කාපි යකා කිව්වලු! “ ප්‍රේමයක් දන් නෑ වගේ එක් යුවතියක් නොබලා හිඳියි??“ (ආපහු මතක් වුණේ අර රැවුලාව). කොම්රේඩ් මෙසේ ලියයි…
වර්ණයක් නැති වලා නිම්නෙක පාට දෙව්දුන්නක් මැවී..
කාව්‍යයක් සේ ගලා බැස යන ගංදියක් වෙත ඉඟි දිදී..
ලෝකයක් මේ ලෙසින් පෙම්වත්කමින් පෙඟුණා මුත් බැඳී..
ප්‍රේමයක් දන්නෑ වගේ එක් යුවතියක් නොබලා හිඳියි!
දැන් ඉතින් කොම්රේඩ් ගේ මුහුණවත් නොබලා ඉන්න යුවතිය කවුදැයි නොඅසන්න.ඒ යුවතිය බතට මාලුවට ලුණු ඇඹුල් ටිකක් මදි වීම නිසා ඇති වූ ආරෝවට නොබලා ඉන්න “අමා“ ද විය හැකි බැවින්ය. එහෙම කියන කොම්රේඩ් IRC පාට් එකෙන් ඊළඟ කවියට ප්රවිශ්ඨ වන්නේය. “මතකයන්වලට පුළුවන්ද මට කියන්නැතිව මිය යන්ට!“ ඒ මුළු කවියේ ම ප්‍රශ්න මිස පිළිතුරු නොමැති නිසා ඒ ප්‍රශ්න ටික කියවීම ඔබටම භාර කරන්නෙමි.(මොකද මට ඕවාට උත්තර හොයන්න බැරි නිසා නොවේ. එය කළ නොහැක්කක් නිසාය).
කොම්රේඩ් ජෝතිපාලට අපූරු කවියක් ලියන්නේය. ජෝතිපාලගේ ජාතිවාදී නොවූ ජෝතිවාදය ඔහු මනාව සටහන් කරයි.ඇරිස්ටෝටල් කිව්වේ මිනිසා දේශපාලන සත්වයෙක් යන්නය. කොම්රේඩ් ද මිනිසෙක්ය. ඉතින් ඒ නිසා ඔහුද දේශපාලන සත්වයෙකි. සියුම් දේශපාලන ප්රහසනයන් කොම්රේඩ් ගේ හිතේ ඇති වූ ජෝති ප්‍රේමයට ඔබ්බන්නේ මෙසේ ය.
ප්‍රේමදාස ගාව වුණත් කොන්ද කෙළින් ජෝතිපාල
වාම ඇසට මග ඇරිච්ච පොදු ජනහඬ ජෝතිපාල..
එක අතකට කළින්ම ගිය එකත් හොඳයි ජෝතිපාල
ටික ටික කුණු වෙන්න තිබ්බ ඔයා වුණත් ජෝතිපාල…
ළඟින් හිටිය සංවේදී නායකයගෙ ජෝතිපාල
රිඟින් ටෝනවලට කියයි රණවිරු ගී ජෝතිපාල..
කැටිපෙ ගේ… ආහ් වැරදුණා.. කොම්රේඩ් ගේ දේශපාලන කියවීම පිළිබඳව හෝ කාව්‍යමය බව ගැන කියන්නට තරම් මගේ මොළය මෝරා නැත. ඇරත් ඒ අහළකටවත් එන්නට මට බැරිය. නමුත් සාමාන්‍ය මිනිසෙකුට වුවද “ඇත්ත නේන්නං“ කියා හෝ “ මූට පිස්සු“ කියා හෝ සිතෙන විදියට කොම්රේඩ් සිය දේශපාලන භාවිතාවන් කවියට පෙරළන්නේය.එහෙම පෙරළපු තවත් කවි කෑල්ලක් මෙහි කෙටුවේ නැතිනම් එය අපරාධයක් ය.
නිතර සෙල්ලමකට හිත බර
නගර අධිපතිල පින්සර
ආරක්ෂාවට පොඩි පිස් –
තෝල ගේනවා
අජිත් රෝහණව හිටවපු
කුඹුර පේනවා
මේ කවිය කියවද්දි මට මතක් වුණේ කොම්රේඩ් කියපු කතාවක්..“හුළං විස්කෝතු“ හදන්නෙ හුළං වලින් නෙවෙයි වගේම සමහර “හවායන් කුකීස්“ හදන්නෙ හවායිවල නෙවෙයි හන්වැල්ලේ. සමහර ෆීල් වෙන්නෙ නැති විහිළුකාර අරගල ගැන කියන කොම්රේඩ් ගේ දේශපාලන භාවිතාවන් හා මතවාද ගැන කළින් කීවා වාගේ කියන්නට මට මොළයක් නැති නිසා කට වසා ගනිමි.
සිංහල කියන තක්කඩි දෙන ළනු කන්ට..
සිංහල ඔළුව පල් වතුරෙන් නාවන්ට..
සිංහල අසිංහල ධනපති ගොඩ යන්ට..
සිංහල – දෙමළ මුස්ලිම් මස් වළඳන්ට..
‘‘ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?‘‘ ඒකත් මම කිසිත් නොලිය යුතු කවියක් ය.. ඒත් එක දෙයක් කියන්නට තිබේ…
ඒ කවි “පට්ට රසයි“..
දැන් වේලාව පාන්දර 01 යි. (12.10 ඉඳලා ආපහු කොම්රේඩ් කියෙව්වෙමි..). ඔව්, මේ විනාඩි 50 ඇතුළේ කොම්රේඩ් ගැන විවිධ සටහන් ලියමින් කපමින් මේවා මෙහෙම ලිවිල්ල හොඳද මන්දායි බියෙන් සැකයෙන් අකුරු ගැළපුවෙමි.මොකද මේ කොම්රේඩ් අපි වැඩ කරන තැන( …..) එක්කොත් ඕනෙ නෑ… මම ටිකක් 23 වෙනි පිටුවේ නවතිමි. ඔබ ද මා සමඟ නැවතී කොම්රේඩ් මේ නෑ නෑ කියනා කවිය කියවනා ලෙස ආරාධනා කරමි.
මල් පෙතී මත් බිඟු සාදයේ පා නොවී ඉන්නෙ නෑ..
විල්තෙරේ ඉඳුවර දමා දිය කොහේවත් යන්නෙ නෑ..
දැල්වෙතී රෑ තරු කියා සඳු නෑවිදින් ඉන්නෙ නෑ..
පෙම්වතී මේ උන්මාදයේ නම තාම දන්නෙ නෑ..
මේ කවියට අනේ මං දන්නෙ නෑ වගේ ෆීල් එකක් එන මාතෘකාවක් ආවා නම් පට්ට යැයි මට සිතුණි. මොකද ආදරය නිසා ඇතිවන උම්මත්තක හැඟීම්වලට දෙන්න නමක් කෙනෙක් තවම හොයාගෙන නැත. ඒ නිසා ගෑණු පිරිමි බේදයක් නැතිව අපි අසරණ වෙන්නේ බැඳීම්වලට හදන උප්පැන්න සහතිකවලට දෙන්න නමක් නොදන්නා නිසාය.
‘‘කම්පනේ සන්තානයේ රස හුදෙකලා වෙන්නෙ නෑ‘‘ ඔව්.. මේ කවියත් එහෙම කවියක් ය. කිසිදා හුදෙකලා නොවන රස කවියක් ය.
කොම්රේඩ් ගේ ‘‘ආදර ගෙදර‘‘ ද පට්ටම රොමාන්තිකය. ඒ ගෙදර එළිපත්තේ සිටුවන ප්‍රාර්ථනා මල් ය. හැමදාම මේ මල් බලා කියා යන්නට ඇය හෝ ඔහු එන්නේය. අමුතුවෙන් පිපියන් කියා කිසි දෙයක් එක් නොකරම ඒ මල් ඉබේ පිපේ.. ඒ කොතැනදැයි දන්නේ මේ අකුරු ඇමිණූ කොම්රේඩ් ම පමණි.
හැබැයි එක දෙයක් කියන්නටම ඕනෑය..
මේ කවි කිසිවකට අමා ගැන ලියූ කවිය එක්ක හැරෙන්නටවත් බැරිය.
මම ආපසු කොම්රේඩ් ගේ තවත් කවකට එබෙමි. ඒ “ජූලි සමඟ සංවාදය“ වෙතටයි. ඔහු මේ කියන්නේ ගැඹුරු දේශපාලන කතාවකි. එය අපි කවුරුත් දන්නා ගැඹුරු ඛේදාන්තයකි. දේශපාලනය මේකට ඈඳා ගන්නට මට ඇති සුදුසුකමක් නැති නිසා මම එය මේ ලිවිල්ලට ඔබන්නේ නැත. එහෙත් මා සිත් ගත් කොටසක් මෙසේ කොටමි.
වර්ජකයෙකුගෙ පෙනහැල්ලක ඇති හුස්ම..
ගෙල වැල ලා ගත්ත සිරුරක හද ගැස්ම..
ලේ රහ වෙච්ච උගුරක රැඳි වස ඉස්ම..
සඟවාගෙන සිටිමි ඉතිහාසය විස්ම..
ඇති දැන් මතක, ඉරෙනා කීතු කීතුව..
කම්පා නොවුණු බැව් දනිම් ලෝ ධාතුව..
කවුරුන් ඇසූවත් මෙය මින් පෙරාතුව..
නොඅසමි ජූලි නුඹ කළු වෙච්ච හේතුව..“
කොම්රේඩ් ජූලි කළු වෙච්ච හේතුව අපට නොකියා කියයි. ඒ කවි පට්ටම රසයි කියා ආපසු ආපසු කිව යුතු වන්නේ ඇත්ත තිත්ත වුණත් සීනි ටිකක් කකා හරි කියවපල්ලා කියා කියමින් කොම්රේඩ් මේ කියනා තිත්ත කතාවයි. එය කොයි දේශපාලන බල කණුවේ සිට කියෙව්වද කාට කාටත් වදිනා කවක් ය.
දැන් වෙලාව පාන්දර 2 ට කිට්ටුය.. මගේ මේ ලිවිල්ල මට දැනෙන නිදිමත තරමටම අර්බුදයට ගොස් ඇත.ඒ නිසා මම තවදුරටත් එක දිගට ලිවිය යුතු නැත. රැවුලා සුවෙන් නිදි ඇති. එහෙමත් නැත්නම් නිදි වගේ රඟපානවා ඇති. ඉතින් මේ පුද්ගලික මගුල් මේ සටහනේ තැන තැන ඔබ්බන්නේ මොකදැයි කියා නොඅසන්න. ඇත්තටම මේවාත් හරිම රස නොවේද? මොකක් වුණත් මේක දැන් ලියා ඉවර කළ යුතුය. අනේ කොම්රේඩ් ගේ සමහර කවි මට බර වැඩිය. එය තේරෙන්නට මාද බර මිනිසෙකු විය යුතුය. කොම්රේඩ් ලා මේ මගුල් සක්වලේ හක්කලං කළ තරමට හක්කලං කරන්න අපට හැකි වේදෝයි නොදන්නෙමි. ඒත් ඒ බරසාර බවට මම හැමදාම ඉරිසියා කළෙමි. ඉදිරියටත් ඒ ඉරිසියාව එහෙමම බව සටහන අවසානයේ ලියා තබන්නටම ඕනෑය. රුසියාවට ඒ ඉරිසියාව එක්ක හැරෙන්නටවත් බැරිය. ඒ තරමට ජෙල. අනෙ අම්මේ ඒ සා විසල් ඉරිසියාවක් !
මේ අන්තිම වාක්‍යය අනවශ්‍ය නම් අයින් කරන්න. දැන් මේ සටහනේ අවසානය මම මෙහෙම තියා තබමි.
මාළිගා වගේ ගෙවල් හැදුවාට ඒ ගෙවල් බාස්ලට අයිති නෑ
වේදිකා දිගේ කෑ ගසා කිව්වට ඒ කියූවන් ට ඒවා අයිති නැහැ..
ජීවිකා තර කරන් යන්න යන මේ ගමන ඉතින් අපි කාටවත් ලේසි නෑ
කොම්රේඩ් කෙනෙක් ගැන මෙහෙම දේ ලියන එක මට ලේසි වුණේ නෑ..
වෙලාව දැන් පාන්දර 2.30යි. දැන්වත් මම නින්දට යා යුතුය. දැන් නම් රැවුලා ඇත්තටම නිදි ඇති. ඉතින් කොම්රේඩ් ට විරාමයක් දිය යුතුය. ඒ කවිවල පට්ට රසය සමඟ මම දැන් නින්දට යමි. කොම්රේඩ් ගැන කියවීම දැන් ඔබට භාරය….
– සුපුන් භාග්‍යා වීරකෝන් –