ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ 8 වන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක උත්සවය ඊයේ (14) පැවැත්වුණේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම සැසිය කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්වුණා.
රැස්ව සිටි පිරිස අමතමින් ආරක්ෂක ලේකම්වරයා හමුදා වෛද්‍යවරුන්ගේ අද්විතීය කාර්යභාරය ඉස්මතු කරමින්, හමුදා වෛද්‍යවරුන් වෛද්‍ය වෘත්තිකයන් පමණක් නොව, හමුදා නිලධාරීන් ද වන අතර, ඔවුන් යුතුකම, විනය සහ කැපකිරීම් වලින් බෙහෙවින් බැඳී සිටින බව පැවසුවා.
ජෛව ත්‍රස්තවාදය, වසංගත පාලනය සහ රසායනික, විකිරණශීලී සහ න්‍යෂ්ටික තර්ජන ඇතුළු නවීන ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා හමුදා වෛද්‍ය වෘත්තිකයන් සන්නද්ධ කිරීමේ වැදගත්කම ඔහු තවදුරටත් අවධාරණය කළා.
මෙම පරිණාමය වෙමින් පවතින පරිසරය තුළ ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාවය හඳුනාගනිමින්, පසුගිය වසර අට තුළ නවෝත්පාදනයන් සහ දැනුම බෙදා ගැනීම පෝෂණය කිරීම සඳහා හමුදා වෛද්‍ය විද්‍යාලය සිදුකරන ලද මෙහෙය මෙහිදී ආරක්ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක්වුුුණා.
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය බ්‍රිගේඩියර් ප්‍රිමාල් පීරිස් විසින් ආරක්ෂක ලේකම්වරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.
උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ජ්‍යෙෂ්ඨ විකලාංග හා කම්පන ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ මහතා සහභාගී වුණා.
හමුදා සෞඛ්‍ය සේවා විශිෂ්ටත්වය ඉහල නැංවීම, නවෝත්පාදනය සහ ගෝලීය බලපෑම යන තේමාව යටතේ මෙම වසරේ විද්වත් සැසිවාරයේදී, උසස් තාක්ෂණය සහ නවෝත්පාදනයන් තුළින් හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් සඳහා සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වුණා.
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම හා සංවර්ධනය උදෙසා ඔවුන්ගේ පුරෝගාමී දායකත්වය අගයමින්, ආරක්ෂක ලේකම්වරයා මේජර් ජෙනරල් සංජීව මුණසිංහ (විශ්‍රාමික), ශල්‍ය වෛද්‍ය රියර් අද්මිරාල් නිකලස් ජයසේකර (විශ්‍රාමික) සහ එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට විශේෂ ඇගයීමේ සංකේත ප්රදානය කෙරුණා.
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයෙහි විධායක කමිටු සාමාජිකයින් සහ ජාත්‍යන්තර නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
