සම්මාන ගණනාවකින් පිදුම් ලත් රයන් කූග්ලර් අධ්‍යක්ෂණය කළ ‘Sinners’ චිත්‍රපටය වෙනුවෙන් කළ විශිෂ්ට සංගීත නිර්මාණය උදෙසා මෙවර ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබීමට ප්‍රකට සංගීත නිර්මාණකරුවකු වන ලුඩ්විග් ගොරන්සන් සමත් වුණා.
68 වන ග්‍රැමී සම්මාන උළෙලේදී ඔහු මෙම සම්මානය දිනාගත්තේ ‘දෘශ්‍ය මාධ්‍ය සඳහා වූ හොඳම ස්කෝර් සංගීත පථය’ (Best Score Soundtrack for Visual Media) යන කාණ්ඩය යටතේයි.
මීට අමතරව, ‘Sinners’ චිත්‍රපටය ‘දෘශ්‍ය මාධ්‍ය සඳහා වූ හොඳම සම්පාදිත සංගීත ඇල්බමය’ (Best Compilation Soundtrack Album) යන කාණ්ඩයෙන්ද සම්මානයට පාත්‍ර වුණා.
ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැළකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස නව ලෝක වාර්තාවක් තැබීමටද ‘Sinners’ චිත්‍රපටය මින් පෙර සමත්වුණා.
හොල්මන් සහ ක්‍රියාදාම (Horror/Action) ගණයේ චිත්‍රපටයක් වන ‘Sinners’ චිත්‍රපටය, ඔස්කාර් සම්මාන උලෙළ සඳහා අංශ 16ක් යටතේ නිර්දේශ ලබා තිබීම විදෙස් මාධ්‍යයන්ගේ විශේෂ අවධානය දිනාගත් සිදුවීමක් බවටද පත්වුණා.
ඒ අනූව මීට පෙර ඔස්කාර් ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් (නිර්දේශ 14 බැගින්) ලබාගෙන සම වාර්තාවක් තබා තිබූ සුප්‍රකට චිත්‍රපට ත්‍රිත්වයක් වන, Titanic (1997), All About Eve (1950), La La Land (2016) පසුකර යාමට ‘Sinners’ චිත්‍රපටය සමත්වුණා.
