රජය, සැමවිටම රාජ්‍ය සේවය විශ්වාස කරන බවත්, වර්තමානය වනවිට රටක් ලෙස දිනාගෙන ඇති සියලු ජයග්‍රහණ හිමිකර ගැනීම රාජ්‍ය සේවකයින්ගේ මැදිහත්වීම සහ කැපවීම මත සිදු වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය 2026 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (01) පැවැත්වූ නිල උත්සවයට සහභාගි වෙමින්.
උදා වූ නව වසර රට සම්බන්ධයෙන් නව බලාපොරොත්තු සහිත වසරක් බවත්, පසුගිය වසර විශ්වාසය සහ ස්ථාවරත්වය සම්බන්ධයෙන් තීරණාත්මක වසරක් වූ බවත් උත්සව සභාව අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා විශ්වාස බිඳ වැටුණු, වෘත්තීය ජිවිතය සම්බන්ධයෙන් පවා අවිනිශ්චිතතාවයක් පැවති කාලයක සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගැනීමට ලැබුණු බවත්, 2025 වසරේ දී බොහෝ කටයුතු සැලසුම් කරමින් හා ක්‍රියාත්මක කරමින් ජයග්‍රහණ රැසක් ලබාගත හැකි වූ බවත් සිහිපත් කළා.
එහිදී නිලධාරීන් ඇතුළු සියලු කාර්ය මණ්ඩල එක්ව හා මනා කැපවීමකින් යුතුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශක්තිමත් පදනම, අත්තිවාරම, අඩිතාලම නිර්මාණය කර ඇති බැවින් දැන් තිබෙන්නේ ඒ මත ශක්තිමත්ව බිත්ති බැදීම හෙවත් අනෙකුත් කටයුතු ඉටු කිරීම බව ද මෙම තත්ත්වයට පත් කර ගැනීම පිළිබඳ ලැබිය යුතු සියලු ගරුත්වය අමාත්‍යාංශයේ සියලු දෙනාටම හිමිවන බව ද පැවසුවා.
තිබෙන සීමිත සම්පත් සහ පහසුකම් කාර්යක්ෂමව භාවිතා කිරීම තුළ 2025 වසරේ දී ආදායම් ඉලක්ක ඉක්මවා යමින් රටේ වැඩිම රාජ්‍ය ආදායම් ප්‍රමාණය වාර්තා කිරීමටත්, මෑතභාගයේ අඩුම අයවැය පරතරයක් වාර්තා කිරීමටත් පසුගිය වසරේ දී හැකි වූ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
සෞඛ්‍ය ක්ෂේත්රයේ ද ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇති බවත් සමහර ක්ෂේත්රවල සියයට 92 ක පමණ ප්‍රගතියක් පෙන්වා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
මේ වනවිට 80,000 ක පමණ පිරිසක් මෙරට රාජ්‍ය සේවාවට බඳවා ගැනීමට අදාළ කටයුතු කර ඇති බවත්, ඉන් 9,000 ක් පමණ පිරිසක් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් බඳවා ගැනීමට හැකියාව ලැබී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
වසර 10 ක 12 ක පමණ කාලයක සිට අතර මඟ වැඩ නවතා දමා තිබූ සෞඛ්‍ය සේවාවේ ව්‍යාපෘති ගණනාවක් නැවත ආරම්භ කර ඇති බවත්, තවත් ව්‍යාපෘති ගණනාවක වැඩ මේ වනවිටත් අවසන් කර ඇති බවත් 2028 වසර වන විට අඩක් නිමකළ සහ අසම්පූර්ණ ව්‍යාපෘති සියල්ල අවසන් කිරීම ඉලක්කය බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ.
2026, 2027, 2028 යන වසරවල දී ඉදිකිරිම් සම්පූර්ණ කිරීමට හෝ අළුත් ඉදිකිරීම් සඳහා පමණක් රුපියල් බිලියන 100 කට ආසන්න මුදලක් භාණ්ඩාගාරයෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසුවා.
පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හමුවේ බරපතල වසංගත තත්ත්වයකට යාමට ඉඩ නොතබා සෞඛ්‍ය ක්ෂේත්රය සහ ජනතා ජිවිත ආරක්ෂා කර ගැනීමට මෙරට සෞඛ්‍ය සේවාවට හැකි වූ බව සඳහන් කළ අමාත්‍යවරයා මෙහිදී ආපදා තත්ත්වය නිසා රුපියල් බිලියන 21 ක පමණ හානියක් සෞඛ්‍ය ක්ෂේත්රයේ රෝහල් පද්ධතියට සිදුව ඇති බව ද පැවසුවා.
එම ආපදා අවස්ථාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම සීමාව ඉක්මවා වගකීමෙන් කටයුතු කිරිම තුළ සැලකිය යුතු උපකරණ ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබුනු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
පසුගිය වසරේ ජාත්‍යන්තර සමුළු කිහිපයක්ම සංවිධානය කිරිමට හැකියාව ලැබුන බවත්, එහි විශේෂ සමුළුවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කළාපීය සමුළුව ඉතාමත්ම සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබුන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
ලෝක සෞඛ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන් එම සමුළුව සාර්ථකව පැවැත්වීමට කටයුතු කිරීම ඇගයීමට ද ලක් කළ බව අමාත්‍යවරයා අවධාරණය කළා.
රජය අභියෝග මධ්‍යයේ වුව ද එම අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් මේ රට තිබුණු තැනින් ඉහළට ඔසවා තැබීමට කටයූතු කරන බවත්, රාජ්‍ය සේවකයින්ට භාණ්ඩාගාරය හරහා ලබාදිය හැකි සියල්ල පියවරෙන් පියවර ලබාදෙන බවත් ඉලක්කගතව ජයග්‍රහණ ලබාගැනීමට කටයුතු කිරීම තුළ තවත් බොහෝ දේ රාජ්‍ය සේවකයින්ට ලබාදීමට හැකිවන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
