තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය, ලේකහවුස් ආයතනය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, පාපැදි විනිසුරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන ‘Lanka Ride 2025’ පාපැදි සවාරිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12)දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්වුණා.
දෙසැම්බර් 18 ලේක්හවුස් ආයතන ඉදිරිපිටින් පාපැදි සවාරිය ඇරඹෙන අතර ආරම්භක දිනය කිලෝමීටර් හතක දුරක් නිදහස් ධාවනයකට ඉඩ සැලසෙනවා.
අනතුරුව පෑලියගොඩ පොලීසිය ඉදිරිපිටින් තරඟය ආරම්භ කෙරෙන අතර එහි සිට ගන්නෝරුව දක්වා 106 km දුරක් ධාවනය කෙරෙනවා.
දෙවැනි දිනයේ (දෙසැ.19) දින මහනුවර සිට දඹුල්ල හරහා 136km ගොස් අනුරාධපුරයට ළඟා වෙනවා.
තෙවැනි දිනයේදී (දෙසැ. 20) අනුරාධපුරයේ සිට පුත්තලම පාර ඔස්සේ 208km ක දුරක් ධාවනයෙන් අනතුරුව කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටින් තරඟය නිමාවට පත් වෙනවා.
පළමු ස්ථානයේ දිනාගන්නා ජයග්රාහකයාට රුපියල් ලක්ෂ 06ක්, දෙවෙනි ස්ථානයට රුපියල් ලක්ෂ 5ක්, තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 4ක් සහ 25 වැනි ස්ථානය දක්වා තරඟය නිමා කරන ධාවකයන්ට මුදල් තෑගි ලබාදීමට ද බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම 23 න් පහළ හොඳම යොවුන් පාපැදි ධාවකයාට රුපියල් ලක්ෂ 2 ක් ද, හොඳම කඳු තරණය කරන්නාට රුපියල් ලක්ෂයක් ද, ලකුණු අනුව තෝරාගන්නා කඩයිම් ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂයක්, හොඳම පාපැදි කණ්ඩායමට රුපියල් ලක්ෂ 2ක්, හා හොඳම අනුශූර කණ්ඩායමට රුපියල් ලක්ෂයක් මුදලින් තෑගි ලෙස ලබාදීමට ද බලාපොරොත්තු වෙනවා.
ක්‍රීඩකයින්ට කණ්ඩායම් වශයෙන් තරඟයට ඉදිරිපත් වීමේ අවස්ථාව සලසා දී ඇති අතර, එක් පාපැදි කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයින් 06ක් ඇතුළත් විය යුතු අතර එහි අවමය ක්‍රීඩකයින් 04ක් ඇතුළත් විය යුතුයි.
අයදුම්පත් බාරගන්නා අවසාන දිනය දෙසැම්බර් 12 .
මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන්, පාපැදි විනිසුරු සංගමයේ සභාපති උපුල් චන්දන, සන්නාම ප්‍රවර්ධන කළමනාකරු දර්ශ චන්ද්‍රසිරි සහභාගී වී සිටියා.
