ශ්‍රී ලංකාවේ පළාත් අතරින් වයඹ පළාතේ මීට දශක දහයකට පමණ පෙර ආරම්භ කරන ලද ජහුටා නාට්‍ය සම්ප්‍රදායට එකල හිමිවූයේ සුවිශේෂි ස්ථානයක්.
ගමේ පන්සලේ, සල්පිල් භාණ්ඩ වෙන්දේසියට නැතුවම බැරි අංගයක් ලෙස හඳුන්වන මෙම ජහුටා නාට්‍ය සම්ප්රදාය ඉපැරණි ඉතිහාසයේ පැවති ශුංගාර සාහිත්‍ය කලාව රස වින්දනය කිරීම උදෙසා යොදාගත් බවයි වාර්තා වන්නේ.
රජ කාලයේ සිදුවූ සිද්ධාන්ත පුරා වෘත්තයට නගමින් ඒවා රඟ දැක්වීම මෙම නාට්‍ය කලාව තුළින් ගෙන හැරපෑ සුවිශේෂ ලක්ෂණයක්.
ශ්‍රි ලංකාවේ භාවිතා වන නාට්‍ය ශෛලීන් අතරින් වෙනස්ම ආකාරයෙන් සිදු කරනු ලබන මෙම ජහුටා නාට්‍ය සම්ප්‍රධායේ විශේෂිත වූ ලක්ෂණය වන්නේ දෙබස් කථන ශිල්පින් මගින් පසුබිමෙන් හඬ කැවීම ඔස්සේ රංගනයෙන් දායක වන ශිල්පීන් සිය රංගනයේ යෙදීමයි.
එය නාට්‍ය ඉතිහාසයේ බැරැරුම් කාර්ය භාර්යක් ලෙස හැඳින්විය හැක්කේ නළුවෙකු සතු මූලික සතර විධ අභිනයෙන් එක් අභිනයක් වෙනත් අයකු විසින් උකහා දැක්වීම හේතුවෙනුයි.
මේ අනුව මෙම නාට්‍යවල නළුවන් ආංගික, ස්වාත්වික, ආහාර්ය යන තුන්වැදෑරුම් අභිනයන් ගෙන හැර පෑව ද වාචික අභිනය පසු පසින් නිරූපණය කිරීම තුළින් ප්‍රේක්ෂකයා හමුවට සිද්ධාන්තය ගොනු කිරීම සිදු කරවන බව සඳහන්.
මේ නාට්‍ය සම්ප්රදාය සඳහා මොවුන් උපයෝගී කර ගනු ලබන්නේ එවකට ලංකාවේ ටීටර් සඳහා භාවිතා කරන ලද කනදු ඇඳුම් එසේත් නොමැතිනම් පබළු ආශ්‍රිතව නිර්මාණය කරන ලද ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇද බැඳ ගන්නා සුළු ඇදුම්, පිනුම්, කරණම් සේම නැටුම් ආදි විශේෂංගයි.
එමෙන්ම බහුතරයක් සටන් ජවනිකා අඩංගු කොට සකස් කරන ලද කතා වස්තුවක් තුළ රජ, සිටු, කුමාර, මැති ඇමති, පුරෝහිත ආදි චරිතවලට මොවුන් මේ තුළින් ජීවයක් එකතු
කරන බව සඳහන්.
මෙම නාට්‍යවල තවත් විචිත්‍රවත් අංගයක් ලෙස සැලකෙන්නේ විකට ජවනිකා සඳහා රංගනයෙන් දායක වන රංගන ශිල්පියා පමණක් අභින සතරම නිරූපණය කිරීමයි.
එමෙන්ම මොවුන් මෙම නාට්‍ය සඳහා හින්දි ගීත ආශ්‍රිතව සැකසුන තනු උපයෝගි කරගනිමින් සිංහල වදන් එකතු කර ගායනය කරන බවයි වාර්තා වන්නේ.
මෙම ජහුටා නාට්‍ය බොහොමයක් යොදාගනු ලබන්නේ ඉදිවෙමින් පවතින විහාරස්ථානවලට ආධාර එකතු කිරීම උදෙසා බව වාර්තා වනවා.
මීට දශක කිහිපයකට පෙර මෙම ජහුටා නාට්‍ය සඳහා ජනතාව අතර ඉහළ ඉල්ලුමක් පැවතියත් වර්තමානය වන විට තාක්ෂණයේ දියුණුවත්
සමග එය කෙමෙන් කෙමෙන් වියැකී යාමට පටන් ගෙන තිබෙනවා.
එමෙන්ම මෙම නාට්‍යකරුවන්ගේ මහන්සියට සරිලන මුදලක් නොලැබීමත්, මොවුන් නූතන සමාජයේ තරුණ පිරිස් විසින් හෑල්ලුවට ලක් කිරීමත් වැනි හේතු නිසා මෙම නාට්‍ය ශිල්පීන් ද මේ වන විට මෙම නාට්‍ය කලාවෙන් ඈත් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
මෙම නාට්‍ය ශිල්පීන් මොවුන්ගේ සංදර්ශණ ඉදිරිපත් කිරීම සඳහා, පෙර පුහුණුවීම් වෙනුවෙන් මාස ගණනාවක් ගත කිරීමට සිදු වීමත්, රංගන ශිල්පීන් ශිල්පිනියන් සේම දෙබස් කථන ශිල්පීන් පුරුදු පුහුණු කිරීමත් මේ වන විට අසීරු කාර්යක් බවට පත්ව තිබෙන බව වාර්තා වනවා.
එමෙන්ම ඉපැරණි යුගයේ භාවිතා කල ඇඳුම්වලට සමාන ඇඳුම් සපයා ගැනීමේදී විශාල මුදලක් වැය කිරීමට මොවුන්ට සිදුව තිබීමත් මේ සම්ප්රදායේ නාට්‍යශිල්පීන් මුහුණපාන ප්‍රධාන අභියෝගයක්.
මොවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාවට මෙරට තුළ හිමි වී ඇති වරප්රසාදයන්වලට සමගාමිව තමන්ගේ අනන්‍යතාවය මූලීක කරමින් සිදු කරගෙන යනු ලබන ස්වතන්ත්‍ර වූ මෙවන් නිර්මාණ අගය කරනු පිණිස රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සිදු කරන්නේ නම් එය මෙම නාට්‍ය සම්ප්රදායේ සුරක්ෂිතතාවයට මහත් පිටුවහලක් වන බවයි.
