ඊශ්‍රායලය එල්ල කරන ප්රහාරයන් නතර කළහොත් පමණක් තමන්ද ප්‍රහාර අත්හිටුවන අතර ක්‍රියාත්මක සටන් විරාමයට තමා සහාය දක්වන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරනවා .
ඊශ්‍රායලය හා ඉරානය අතර සටන් විරාමයක් අද(24) උදෑසන සිට ක්‍රියාත්මක බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.
එය කඩ කිරීමෙන් වළකින ලෙසයි ඔහු දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේ.
සටන් විරාමයට සහයෝගය දක්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුද නිවේදනය කළා.
මේ අතර සටන් විරාමයකට එළඹීම සම්බන්ධයෙන් ඉරානයට හා ඊශ්‍රායලයට ඇමෙරිකා ජනාධිපතිවරයා සුබපැතුම් එක්කර තිබෙනවා.
මෙම සටන් විරාමයත් සමග දින 12ක යුද්ධය නිමාවන බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ඒ සඳහා ඉරානයට හා ඊශ්‍රායලයට ශක්තිය ධෛර්ය හා බුද්ධිය ඇති බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
මෙය වසර ගණනක් ඇදිඇදී යාමට තිබූ යුද්ධයක් බවත් ඒ හරහා සමස්ත මැදපෙරදිගම විනාශයට පත්වීමට තිබූ බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම “සියොන්වාදී පාලනය සටන් විරාමය කඩ නොකරන්නේ නම්, ඉරානය ද එය කඩ නොකරනු ඇත,” යනුවෙන් මැලේසියානු අගමැති අන්වර් ඉබ්රාහිම් සමඟ දුරකථන සංවාදයකදී පෙසෙෂ්කියන් පැවසූ බව විදෙස් වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා .
