හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරේ බස් රථය පැදවූ රියදුරා මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති විසින් අද (22) මේ නියෝගය ලබා දුන්නා.
අනතුරෙන් තුවාල ලැබූ රියැදුරු දික්ඔය මුලික රෝහලේ පොලිස් ආරක්ෂාව මැද නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා.
රෝහල වෙත පැමිණි වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිලිබඳව කරුණු විමසා රෝහල තුලම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ.
ඒ අනූව සැකකරු බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මැද නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
අනතුරෙන් මියගියේ මහනුවර, යටිනුවර වීථියේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක්, හැටන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දියණියක් සහ නෝර්වුඩ් ඉහළ කොටසේ පදිංචිව සිටි 67 හැවිරිදි පුද්ගලයෙකුයි.
අනතුරෙන් තුවාල ලැබූ 7 දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලේ සහ 43 දෙනෙකු දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම රියදුරු අතින් මීට මාස කීපයකට පෙර ගිනිගත්හේන ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර නාවලපිටිය ප්‍රදේශයේ දී ද රිය අනතුරක් සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.
