ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන දිනටත් ආරම්භ වුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.
පෙත්සම් විභාගය ආරම්භක අවස්ථාවේදීම පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කිරීම සිදුකළා.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා පෙත්සම් 29ක් මෙ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.
එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම්කර තිබෙන්නේ නීතිපතිවරයායි.
යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දු කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ.