ඉන්දියානු ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගත යුතු බව ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීයි.
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගත් තීරණයක් ලෙස ඉන්දියානු ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙසට
නාවික හමුදාවේ අදාළ අංශ වෙත දෙන ලද දැනුම් දීම පිළිබඳ කාරක සභාව මෙහිදී විමසා සිටියා.
එහිදි අදහස් දැක්වූ නාවික හමුදා නිලධාරීන් සඳහන් කළේ ලද උපදෙස් අනුව අත්අඩංගුවට ගැනීම් ප්‍රමාණය වැඩි කළ අතර මේ වන විට අනවසරයෙන් පැමිණෙන ඉන්දියානු ධීවර යාත්‍රා ප්‍රමාණය තරමක් අඩුවී ඇති බවයි.
මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම ගැටළුව විසඳීම නාවික හමුදාවට පමණක් සිදු කළ නොහැක්කක් බවයි.
මේ පිළිබඳ මෙරට දේශපාලනඥයන් දකුණු ඉන්දිය දේශපාලනඥයන් සමග රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වීමෙන් ගැටළුව විසඳා ගත යුතු බවට අදහස් පළවූ අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ, ජාති හෝ ප්‍රාදේශීය භේදයකින් තොරව අදාළ ප්‍රදේශ නියෝජනය කරන සියළු මන්ත්‍රීවරයන් එක්ව කටයුතු කළ යුතු බවටද තීරණය කර තිබෙනවා.
