මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී හමුවූ මිනිස් අස්ථි කොටසු හමු වූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදුකොට හමුවූ අස්ථි කොටස් පිළිබඳව ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අද දින උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට දැඩි බාධාවන් එල්ලවී තිබුණා.
උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ සංගමය විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කොට ඇති අතර ඒ සඳහා යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, සේවක සංගමය, දේශපාලන සිරකරුවන් මුදවාගැනීමේ සංගමය, දෙමළ ජාතික ජනතා පෙරමුන ඇතුලු දේශපාලන පක්ෂ කිහිපයක්ද මෙයට සහය දක්වා තිබෙනවා.
හර්තාලය ක්‍රියාත්මක වීම හේතුවෙන් උතුරු පලාතේ මුලතිව්, යාපනය, කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි සියලුම වෙළඳසැල් වසාදමා තිබූ අතර වව්නියාව සහ මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි නගරයේ වෙළඳසැල් පමණක් වසාදමා තිබුණා.
එමෙන්ම පෞද්ගලික බස්රථද ධාවනයෙන් ඉවත්ව තිබූ අතර මගීන් සිය ගමනාගමන කටයුතු සිදුකරගැනීමට නොහැකිව දැඩි පීඩාවන්ට පත්ව සිටි අතරම පාසල් රැසකද අධ්‍යාපනික කටයුතුවලට දැඩි බාධා එල්ල වුණා .
