දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හුවමාරුව අසලදී ලොරි රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් එයින් අධික දුමක් පිට වී තිබෙනවා.
ලොරි රථය නතර කිරීමට රියදුරු උත්සාහ කළද එය නවතා ගැනීමට නොහැකි වී තිබෙනවා.
රියදුරු දොඩංගොඩ පිවිසුම ආසන්නයේ ලොරි රථය නතර කර එයින් බැසීමත් සමග මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණි මෝටර් රථය ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.
අධික දුමාරය හේතුවෙන් මෝටර් රථයේ රියදුරුට ලොරි රථය හරිහැටි දර්ශනය වී නැති බවට පොලිසිය සැක කරනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ ත්රිකුණාමලය තිරුක්කෝවිල් හා මඩකලපුව යන ප්රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකුයි.
සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනා නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.
