fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2023 17:28

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ පැවසූහ.

ඔවුන් මේ බව සඳහන් කළේ තිරසර සංවර්ධන ඉලක්ක අය වැයකරණයට එක් කිරීම පිළිබද පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ හා පරිසරය සහ තිරසාර මූල්‍යකරණය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආනන්ද මලවිතන්ත්‍රී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි නේවාසික නියෝජිත Azusa Kubota , අයවැය ලේඛන උපදේශක Asif Shah, ඒකාබද්ධතා විශේෂඥ දුලානි සිරිසේන මෙනවිය සහ ප්‍රතිපත්ති, පර්යේෂණ සහ නියැලීමේ සහකාර Afraa Mohamed යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

තිරසර සංවර්ධන ඉලක්ක රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධතිවලට ඒකාබද්ධ කිරීමේ තාර්කිකත්වය පිළිබඳව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර සංවර්ධන ඉලක්ක හා අය වැයකරණයේ ප්‍රධාන ප්‍රතිලාභ පිළිබඳව ද සාකච්ඡා විය.

මූල්‍ය අවකාශය සහ මූල්‍ය පරතරය අවම කිරීම සඳහා වැඩිදියුණු කළ දත්ත සමඟ අයවැය තීරණ සඳහා ඵලදායී පදනමක් සැපයීම, සමාජ අංශයේ වියදම් ආරක්ෂා කිරීම සඳහා කාර්යක්ෂම ක්‍රමවේද හඳුන්වාදීමෙන් රජයට සහ පරිත්‍යාගශීලීන්ගේ සාකච්ඡාවලට සහාය වීම, සම්පත් ඵලදායි ලෙස ඉලක්කගත කිරීමට සහාය වීම සඳහා අරමුදල් හිඩැස් සහ අඩු සම්පත් ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.

එමෙන්ම ප්‍රතිපත්ති ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම සහ රාජ්‍ය ආයෝජනවල මුදලට වැඩි වටිනාකමක් ලබා ගැනීම සඳහා සහාය වීම, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සඳහා පාරදෘශ්‍යතාව තහවුරු කිරීමෙන් රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, සම්පත් බලමුළු ගැන්වීම සඳහා නිසි ක්‍රම පද්ධතියක් සැපයීම, සහ තිරසාර සංවර්ධන ඉලක්ක, දේශගුණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කරගත් අය වැය ඉලක්ක හරහා වාර්ෂික අයවැය ලේඛනයේ ප්‍රමුඛතා හඳුනාගැනීම වැනි ප්‍රතිලාභ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

තවද එම ක්‍රියාවලියේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු සහ එම ගැටලු වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේ දී පුළුල්ව විමසා බැලිණි.

තිරසර සංවර්ධන සභාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජෙනරාල් චමින්ද්‍රි සපරමාදු සහ සහකාර අධ්‍යක්ෂිකා නදීකා අමරසිංහ යන මහත්මීන් ද ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර, අධ්‍යක්ෂ සජන සූරියආරච්චි යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2023 17:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්