ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 14 වනදා සිට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
අනිද්දා දිනයේ ජනාධිපති ධූරය සදහා නාමයෝජනා කැඳවීමෙන් පසු 20 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද වීමසීමෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතයි.
ඒ අනුව නව ජනාධිපතිවරණ ඡන්ද වීමසීම සදහා මේ වනවිට අපේක්ෂකයින් 4 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. ඒ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුනුයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී සහාය ලබාදීම සම්බන්ධයෙන් අපේක්ෂකයන් නාමයෝජනා ලබාදීමෙන් පසුව එකතාවකට පැමිණීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇති බවට වාර්තා වනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ට්විටර් සටහනක් තබමින් අද ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස බලපෑම් කිරීමේ ප්රචාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි. රාජපක්ෂ හිතවාදීන්ගේ මැදිහත්වීමෙන් එය සිදුවන අතර ඔවුන්ගේ දූෂිත දේශපාලනයට සහාය දීමේ නිෂ්ඵල බව එම පිරිස්වලට පැහැදිලි කිරීමේ උත්සාහයක තමන් නිරත වූ බවද එම පණිවුඩයේ සදහන්.
