කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකව පුනරුත්ථාපනය වෙමින් සිටි අයෙකු සැක කටයුතු ලෙස මිය යාම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන වැලිකන්ද පොලිසිය මෙම මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එමෙන්ම එහි උපදේශකවරුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි සිද්ධිය සම්බන්ධයෙන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම මධ්‍යස්ථානයේ සහාය උපදේශකවරුන් ලෙස කටයුතු කළ ගුවන් හමුදා සැරයන්වරුන් දෙදෙනෙකු යුද හමුදා සැරයන්වරයෙකු හා යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු මෙසේ අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන්ගේ ප්‍රකාශ මත මියගිය පුද්ගලයාට පහරදීම සඳහා යොදාගත් බවට සැක කරන ඝනකම සහිත විදුලි වයරයක් හා උණ පතුරු දෙකක් පොලිසිය සොයා ගත්තා. මිය ගිය අයගේ සිරුර ඔහුගේ බාල සහෝදරයා සහ මිතුරන් කිහිප දෙනෙකු හඳුනාගත් අතර ඒ අනුව පශ්චාත් මරණ පරික්ෂණය ලබන 5 වනදා සිදුකිරීමට නියමිතයි. කන්දකාඩු පුනරුත්ථාපන කදවුරෙන් පළාගිය රැඳවූවන් 679 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
