පෙබරවාරි 11 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයින් කීප දෙනෙකු ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
නම් කරන ලද ක්‍රීඩකයින් බොහෝමයක් නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වීමට සමත්ව සිටින ක්‍රීඩකයෝ වෙති.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද 20 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකවද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් වේ.
කණ්ඩායමට එක්ව සිටින නවක මුහුණු අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාගේ සම්මානයෙන් පිදුම් ලද ජනිත් ලියනගේද විස්සයි-20 කණ්ඩායමට එක්ව සිටියි. ඊට අමතරව නවක ආරම්භක පිතිකරුවකු වන කඩුලු රකින කමිල් මිශාර සහ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාරද කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
කණ්ඩායමේ උප නායකත්වය චරිත් අසලංකට ලබා දී තිබේ.
ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග නැවතත් කණ්ඩායමට පැමිණ සිටින අතර ඔහුට අමතරව තවත් පා දඟ පන්දු යවන්නකු වන ජෙෆ්රි වැන්ඩර්සිද කණ්ඩායමට එක් කර තිබීම විශේෂත්වයකි. වනිඳු රහිතව ක්‍රීඩා කරන ලද සිම්බාබ්වේ පිලට එරෙහි තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ වැන්ඩර්සි වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, කමිල් මිශාර, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, ළහිරු කුමාර, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු (ෆිට්නස්).
