මහසඟරුවන ගැන රංජන්ගේ ප්‍රකාශය අගමැති තරයේ හෙළා දකී
Related Articles
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් දැක් වූ අදහස් අග්‍රාමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රන්ජන් රාමනායක මහතා වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කරනවා.
රන්ජන් රාමනායක මහතා දැක්වූ අදහස් පක්ෂ නායකත්වය හා පක්ෂයේ අදහස් සමඟ පරස්පර බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. පාරම්පරිකව තම පවුලේ සාමාජිකයින් බෞද්ධ විහාරස්ථාන හා සමීපව කටයුතු කරමින් ඒවා ගොඩනැංවීමට හා සංවර්ධනය කිරීමට දායකත්වය දක්වා ඇති බව අග්‍රාමාත්‍යවරයා එම ලිපියේ සඳහන් කර තිබෙනවා. කැලණිය රජමහා විහාරය , ගංගාරාම විහාරය ප්රමුඛ විහාරස්ථාන ගණනාවක විහාරාධිපති ස්වාමීන්වහන්සේ හා අනෙකුත් ස්වාමීන්වහන්සේ වෙත සිව්පස සපයමින් ඔවුන්ගේ අධ්‍යයන හා ශාසනික කාර්යයන් සඳහා පහසුකම් ලබා දෙමින් සමීපව කටයුතු කර ඇති බව ද එම ලිපියේ සඳහන්. එවැනි පසුබිමක රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ. රන්ජන් රාමනායක මහතා දැක්වූ අදහස් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබන 21 වනදාට පෙර ලිඛිතව තමා වෙත යොමු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා එම ලිපියේ සඳහන් කර තිබෙනවා.