හෙරොයින් ජාවාරමට ආධාර අනුබල දීමේ චෝදනාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත නාගරික මන්ත්රීවරයෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගත්තා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා.
මීගමුව පොලිස් වසමේ කටුවපිටිය ප්රදේශයේදී හෙරොයින් කිලෝ ග්රෑම් එකයි ග්රෑම් 8 ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ පසුගිය 23 වනදායි. ඒ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී මෙම සිද්ධියට අදාළව හලාවත නාගරික මන්ත්රීවරයෙකු වන වර්ණකුලසූරිය ස්ටැන්ලි ලවුස් ප්රනාන්දු නමැත්තා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගත්තා. හෙරොයින් ජාවාරමට අනුබල දීම යන වරද සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්රකාශ කළේ.
හලාවත, තාලඩ්වැල්ල, අංක 108 දරණ ස්ථානයේ පදිංචිව සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ ඊයේ (08) උදෑසනයි. ඔහු මීගමුව මහේස්ත්රාත් අධිකරණයට අද (09) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.