මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහා පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ඒමට සිදුවූයේ එම අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන මහාපරිමාණ ව්‍යාපෘතීන් සදහා මූල්‍ය ප්‍රතිපාදන වැඩි වශයෙන් අවශ්‍ය නිසා බව එම අමාත්‍යාංශය පවසනවා.
අධිවේගී මාර්ග ඇතුළු ජාතික මහාමාර්ග පද්ධතිය විධිමත් සහ ක්රමානුකූල ලෙස සංවර්ධනය කිරීමත්, පවත්වාගෙන යාමත් මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු දිගුව, පිටත වටරවුම් මාර්ගයේ 3 වන කොටස සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස ඇතුළු අධිවේගී මාර්ග සංවර්ධන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. මීට අමතරව විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති 33 ක් මෙම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙනවා.
මෙම තත්ත්වය මත අයවැය ඇස්තමේන්තු සහ අයවැය යෝජනා මගින් ලැබුණු රුපියල් මිලියන එක්ලක්ෂ අසූ පන්දහසක ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් පරිපූරක ඇස්තමේන්තුවක් සදහා කැබිනට් අනුමැතිය ලබා ගත් බවයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව රුපියල් මිලියන හැටපන්දහසක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවද අමාත්‍යාංශය පවසනවා.