ඇමරිකාව හා ඉරානය සාකච්ඡා සඳහා එකඟත්වය පළ කර ඇති බැවින් එම සාකච්ඡා යළි ඇරඹීමට කටයුතු කළ යුතු බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසනවා.
ඒ ඔස්සේ ඵලදායී දේශපාලනික විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම පෙන්වා දුන්නා.
Wang Yi මහතා මෙම අදහස් පළ කළේ කැනඩා විදේශ අමාත්‍ය Anita Anand මහත්මියගේ ඇරයුමෙන් ඇය සමග පැවති දුරකථන සාකච්ඡාවකදී.
ඉරාන න්‍යෂ්ටික ගැටලුව සංවාදය තුළින් විසඳිය යුතු බවත් එය බලය භාවිත කිරීමට හේතුවක් නොවිය යුතු බවත් පවසමින් චීන විදේශ අමාත්‍යවරයා චීනයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය එහිදී පැහැදිලි කළා.
බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් යුද්ධය ව්‍යාප්ත වීම කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වයට තර්ජනයක් බව ද ඔහු පෙන්වා දුන්නා.
මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාවේ ස්ථාවරය පැහැදිලි කළ Anita Anand මහත්මිය ගැටුම් සහිත ප්‍රදේශවල සිවිල් වැසියන් ආරක්ෂා කිරීම, යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වීම පාලනය කිරීම සහ ගෝලීය ආර්ථිකයට මෙන්ම කාර්මික හා සැපයුම් දාමවලට සිදු වන බලපෑම අවම කිරීම සඳහා කැනඩාව කැපවී සිටින බව ද සඳහන් කළා.
සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සහ කලාපීය සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනයට කැනඩාව චීනය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී දෙපාර්ශ්වය චීන-කැනඩා සබඳතාව පිළිබඳව ද අදහස් හුවමාරු කර ගෙන ඇති අතර කැනඩා අග්‍රාමාත්‍ය Mark Carney මහතාගේ චීන සංචාරය ඵලදායී ප්රතිලාභ ලැබෙන අයුරින් සැලසුම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.
