ගෙවී ගිය 2025 වසර ශ්‍රී ලංකාව සහ ඉන්දීය ආර්ථික හවුල්කාරීත්වයේ සන්ධිස්ථාන රැසක් සනිටුහන් කළ වසරක් වු බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා ලෙස ඉන්දියාව සැම විටම ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් ප්‍රතිචාර දක්වන රටක් වී ඇති බවයි ඒ මහතා අද(09) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 780කට අධික වටිනාකමකින් යුත් ව්‍යාපෘතින් සමගින් ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන සහකරු වන බවයි සන්තෝෂ් ජා මහතා මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේ.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායි මිතුරා හා රඳා පැවතිය හැකි සහකරුවායි.
මේ නිසාම ඉන්දියාව හැමවිටම ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් ප්‍රතිචාර දක්වන රටක් වී තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව පැමිණි පළමු දිනයේම ඉන්දියාව සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව මුදවා ගැනිමේ සහන කටයුතු ආරම්භ කළා.
ජාත්‍යන්තර යුධ නෞකා දැක්ම සදහා කොළඹ නැංගුරම් ලා තිබු ඉන්දීය නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ ඉන්දීය නාවික හමුදාවේ උදයගිරි නෞකාව වහාම මානුෂිය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සදහා යොමුකෙරුණා.
එම නෞකා කඩිනමින් නැවුම් සලාක සහ මානුෂිය ආධාර සහ ආපදා සහන කට්ටල ලබාදුන්නා.
වික්‍රාන්ත් නෞකාවේ චේතක් හෙලිකෝප්ටර් යානා දෙකක් සහන කටයුතු සදහා සහාය වීමට පිටත් කළා.
හෙලිකෝප්ටර් යානා තුනක් ලගා විය නොහැකි ප්‍රදේශවල සිටි පුද්ගලයින් බේරා ගනිමින් සහ ආධාර බෙදාදෙමින් සති දෙකකට අධික කාලයක් සක්‍රීයව ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා දායකත්වය දුන්නා.
ඒ සමගම සාමාජිකයන් 80 දෙනෙකුගෙන් සමන්විත ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ මුදවා ගැනිමේ සහ සහන මෙහෙයුම් සිදුකළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසනායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති දුරකතන සංවාදයේ දී ශ්‍රී ලංකාවට සිදුවු මහත් විනාශයේ තරම සහ ස්වභාවය හේතුවෙන් අත්‍යවශ්‍ය සබඳතා යටිතල පහසුකම් කඩිනමින් ප්රතිශ්ඨාපනය කිරිමේ අවශ්‍යතාව සාකච්ඡා කළ බවයි සඳහන් කළේ.
ඒ අනුව යටිතල පහසුකම් නැංවීමට ඉන්දීය රජය සුවිශේෂි වු කාර්යභාරයක් ඉටුකළා.
බේලි පාලම් රැගෙන ඒම / ඉන්දියාවේ ඉංජිනේරු කණ්ඩායම් මෙරටට පැමිණීම / වෛද්‍ය උපකරණ ඇතුලු අංශ ගණනාවකින් ඉන්දීය රජය ලබාදුන් සහාය මෙහිදි හෙළි කෙරුණා.
මේ සියල්ලටම අමතරව ඉන්දීය සමාගම් ශ්‍රී ලංකාවේ ප්රතිසාදනය සහ දිගුකාලීන සංවර්ධනය සදහා සිය කැපවීම් අවධාරණය කරමින් රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට ඇමෙරිකා ඩොලර් මිලියනයකට අධික පරිත්‍යාග සිදුකළ බවයි ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ.
මහාසාගර් ප්රතිපත්තීන් තුළින් ඉන්දියාව ඇමෙරිකා ඩොලර් මිලියන 450ක පැකේජයක් සමගින් ශ්‍රී ලංකාවේ සහායට පැමිණි ආකාරය ද පැහැදිලි කළ සන්තෝෂ් ජා මහතා එම පැකේජය ශ්‍රී ලංකා රජයේ විවිධ අමාත්‍යාංශ විසින් හඳුනාගෙන ඇති අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වන බවයි සඳහන් කළේ.
මෙම පැකේජය යටතේ ඉදිරි දින කිහිපයේ දී පාලම් දෙකක් විවෘත කරන අතර උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිශ්ඨාපන කටයුතු ද ආරම්භ කරනු ඇති.
ඇස්තමේන්තු අනුව දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් සියලු පාලම් ප්රතිශ්ඨාපනය කිරීම සඳහා ඉන්දියාව ලබාදී ඇති ඇමෙරිකා ඩොලර් මිලියන 30කට ආසන්න මුදල ප්‍රමාණවත් වනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.