කොටුව, සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලින් අද (03) උදෑසන ආරම්භ වූ පිණ්ඩපාත චාරිකාව ජනාධිපති කාර්යාලය වෙත වැඩම කළ අවස්ථාවේදී මහා සංඝරත්නයට පිරිකර පූජා කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එක් වී තිබෙනවා.
දිවයින පුරා දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇති පිරිවෙන් සහ දහම් පාසල්හි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ සුබසාධන කටයුතු සඳහා ආධාර ලබා ගැනීම වෙනුවෙන් මහනුවර බෞද්ධ හා සුබසාධක සංගම් එකමුතුව විසින් වාර්ෂිකව මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධානය කරනවා.
මෙවර සියක් නමක් මහා සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවේ නිරත වූ අතර කොළඹ කොටුව පෞද්ගලික සහ රාජ්‍ය ආයතන රැසක කාර්ය මණ්ඩලය මග දෙපස රැස්ව මහා සංඝරත්නයට පිරිකර පූජා කළා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රෝෂන් ගමගේ, කේ. එම්. එන්. කුමාරසිංහ, ප්‍රසන්න චන්දිත් යන මහත්වරු ඇතුළු ජනාධිපති කාර්ය මණ්ඩලයද මෙම පිරිකර පූජා කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.
