fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර ඇසළ පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට භාර දෙයි

hasiniek
By hasiniek අගෝස්තු 31, 2023 20:26

මහනුවර ඇසළ පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට භාර දෙයි

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන ඇසළ පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද (31) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවා.

අනතුරුව දියවඩන නිලමේවරයා සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

පෙරහරේ ගමන් කළ අලි ඇතුන් සංකේතවත් කරමින් “සිංදු” ඇත් පැටවාට පලතුරු සංග්‍රහයක් සිදු කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ ඉන් අනතුරුවයි.

පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා.

“ඇසළ පෙරහර භාරය” මඟින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර මධ්‍යම පළාත් සංස්කෘතික අමාත්‍යංශය විසින් සම්පාදිත “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද පිළිගන්වා තිබෙනවා.

පෙරහර සංවිධානය කිරීමට කැපවූ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාලවල නිලමේවරුන් ප්‍රමුඛ ඊට අනුග්‍රහය දැක්වූ සියලුදෙනාට මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ ආගමික මෙන්ම ජාතික උත්සවයක් පමණක් නොව ශ්‍රී ලාංකික සංස්කෘතිය ලෝකය හමුවට ගෙන යන විචිත්‍රවත් සංස්කෘතික මංගල්‍යයක් වූ ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බවයි.

අලි ඇතුන් ආරක්ෂා කළයුතු බව තමා ද පිළිගන්නා නමුත් අපගේ පෞරාණික චාරිත්‍ර ද ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බවත් පෙරහරට හීලැ අලි ඇතුන් ලබා ගැනීම ඇතුළු මතුව ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා

ලබන වසර වන විට මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රගතියක් අත් කර ගැනීමේ වැඩපිළිවෙළේදී මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහරට සුවිශේෂී ස්ථානයක් හිමි වන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා

hasiniek
By hasiniek අගෝස්තු 31, 2023 20:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්