දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලට අයත් ලොව විශාලතම පැහැදිලි ඔපදමන ලද දියමන්තිය ආපසු ලබා දෙන ලෙස දකුණු අප්‍රිකාවෙන් ඉල්ලීම් වැඩි වෙමින් පවතිනවා.
අප්‍රිකාවේ මහා තරුව (Great Star of Africa) එසේත් නැතිනම් ‘Cullinan I’ ලෙස හඳුන්වන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවේ කැණීම් කරන ලද විශාල මැණිකකින් කපා දකුණු අප්‍රිකාවේ යටත් විජිත බලධාරීන් විසින් බ්‍රිතාන්‍ය රජ පවුලට භාර දෙන ලදී. එය දැනට රැජිනට අයත් රාජකීය යෂ්ටියක සවිකර තිබෙනවා.
මෙය දකුණු අප්‍රිකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම පැහැදිලි ඔපදමන ලද දියමන්තිය පමණක් නොව, වටිනාම දියමන්තිය ද ලෙසයි සැළකෙන්නේ.
අප්‍රිකාවේ මහා තාරකාව පමණක් නොව දකුණු අප්‍රිකාවෙන් හමුවී පසුව බ්‍රිතාන්‍ය රජ පවුලට ලබා දුන් සෙසු දියමන්ති ද නැවත ලබා දීම සඳහා වන ඉල්ලීම් රැජිනගේ අභාවයෙන් පසු තීව්ර වී තිබෙනවා.
දකුණු අප්‍රිකා දේශප්‍රේමී ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දකුණු අප්‍රිකා දියමන්ති සහ ස්වර්ණාභරණ අත්පත් කර ගැනීම නීත්‍යානුකූල නොවන බවයි. සුදු පාලකයන් විසින් ඒවා දකුණු අප්‍රිකාවෙන් කොල්ල කෑ බවට දේශප්‍රේමී ක්‍රියාකාරීන් චෝදනා කර සිටිනවා.