ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතව සිටිනවා. ප්‍රදේශයේ සංවර්ධන හා ආර්ථික ගැටලු රැසක් පිළිබද ජනාධිපතිතුමාගේ අවධානය යොමුවුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරයකට එක්ව සිටිනවා. දැරණියගල සිරිසමන් මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී හා දැරණියගල නගරයේ ළමා උද්‍යානය අසලදී ජනාධිපතිතුමා ජනතාව සමග සුහද කතාබහක නිරත වුණා. අතරමැදියන් හේතුවෙන් රබර් කර්මාන්තයේ නිරත වූවන්ට නිසි මිලක් නොලැබෙන බැවින් කර්මාන්තයේ නිරත පිරිස අඩු වී ඇති බවයි ජනතාව ජනාධිපතිතුමා සමග කියාසිටියේ. ගම්මිරිස් ඇතුලු කුළුබඩු නිෂ්පාදනයේ නිරත වූවන්ගේ ගැටලු ද ජනාධිපතිතුමා වෙත මෙහිදී ඉදිරිපත් කෙරුණා.
රබර් සඳහා නිසි මිලක් දෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.
එමඟින් රැකියා විරහිත පිරිස් කර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට හැකිවනු ඇතැයි එතුමා පෙන්වා දෙයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය කණක හේරත් හා අපේක්ෂක අජිත් ශාමින්ද යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේක්ෂක වයි ජී පද්මසිරි මහතා රුවන්වැල්ල දෙහිඕවිට මංසන්ධියේ සංවිධාන කර තිබූ ජන හමුවට හා අපේක්ෂක එල් එච් සුදත් මංජුල මහතා රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගනය ඉදිරිපිට පොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගි වුණා. එහිදී රැස්ව සිටි ජනතාවගෙන් ජනාධිපතිතුමාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හදුන්වා දුන් නව දේශපාලන සංස්කෘතිය පිළිබද ප්‍රශංසාව පළ කළ ජනතාව පෝස්ටර් භාවිත නොකර හා පරිසරය අපවිත්‍ර නොකර ගෙන යන මැතිවරණ ව්‍යාපාරය ඇගයීමට ලක් කළා. මොරලියගගබඩ මාර්ගය ඇතුලු අතුරු මාර්ග සංවර්ධනය හා පානීය ජල ගැටලුව පිළිබදව ද ජනාධිපතිතුමා දැනුවත් කිරීමටයි ජනතාව මෙහිදී කටයුතු කළේ. මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපතිතුමා හිටපු රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතාට උපදෙස් ලබා දුන්නා. දිස්ත්‍රික්කයේ උපාධිධාරීන්ගේ ගැටලු හා උපාධිධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් කෙරෙහි ද ජනාධිපතිතුමා අවධානය යොමු කළා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු ඉඩම් නැවත අස්වැද්දීම පිළිබදව ද ජනතාව ජනාධිපතිතුමා සමග සාකච්ඡා පැවැත්වූවා. සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන කිතුල්ගල ආශ්‍රිතව උද්ගතව ඇති ගැටලු කිහිපයකට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර මෙම ගැටලු නොපමාව නිරාකරණය කරන ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.
හිටපු පළාත් සභා මන්ත්‍රිනී වත්සලා ජනාදරී පද්මසිරි මහත්මිය කිතුල්ගල හා දෙහිඕවිට සංවර්ධනයට අදාළ යෝජනාවලියක් ජනාධිපතිතුමා වෙත භාර දුන්නා. මෙම අවස්ථාවට එක්ව සිටි පාසල් සිසුවෙකු තමා සිතුවම් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සේයාරුවක් එතුමා වෙත පිළිගන්වනු ලැබුවා. හිටපු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

