කතරගම පූජා මංගල්‍ය නිමිත්තෙන් මේ දිනවල කතරගම ආශ්‍රිතව විශාල ජනකායක් ගැවසෙන බැවින් එම ජනයාගේ සුවසෙත පතා විශේෂ මෙහෙයුම් රැසක් ජූලි 02 වනදා සිට 17 වනදා දක්වා කතරගම නගරය සහ ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්.බාලසූරිය මහතා ප්‍රකාශ කළා.
කතරගම නගරයෙහි ආහාරපාන අලෙවිසැල්, සිල්ලර වෙළදසැල්, ලැගුම්හල් ආදී ස්ථාන වල ආහාරපානවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයෙහි යොදවා ඇත. නගරයෙහි ලියාපදිංචි කර ඇති දන්සල් 150ක් පරීක්ෂාවන්ට ලක්කර ඇති අතර ජනතාවට පිරිසිදු පානීය ජලය පරිහරණය කිරීම උදෙසා නගරය ආශ්‍රිතව ජල පරීක්ෂාවක් ද සිදු කර ඇත.
එමෙන්ම පූජා නගරය ආශ්‍රිතව දැඩි ජන සමූහයක් ගැවසෙන බැවින් විධිමත්ව කසල බැහැර කිරීමේ ක්‍රියා පිළිවෙලක් උදෙසා නගරය පුරා කසල බදුන් තබා විධිමත්ව කසල බැහැර කිරීම පිළිබඳ දැන්වීම් පුවරුද ප්‍රදර්ශනය කර ඇත. පූජා නගරය ඩෙංගු සහ පොලිතින් වලින් තොර කලාපයක් බවට පත්කිරීම විශේෂ අරමුණක් වන බැවින් ඒ හේතුවෙන් කසල කළමනාකරණය පිළිබදව විශේෂ අවධානයක් යොමු කර ඇත.
මේ වන විට ලැගුම්හල් සහ ආහාරපාන ලබාදෙන ස්ථාන 462ක් පරීක්ෂා කර ඇති අතර ආහාරපාන සම්බන්ධයෙන් කල වැටලීම් වලින් වෙළෙන්දන් 22කට එරෙහිව නඩු පවරා ඇත. පොදු සහ ප්‍රසිද්ධ ස්ථාන වල දුම්කොළ සහ මධ්‍යසාර භාවිතායට එරෙහිව උපදෙස් ඇතුලත් දැන්වීම් පුවරු කතරගම නගරය පුරා ප්‍රසිද්ධ කර ඇති අතර ඒ පිළිබඳ නොතකා කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද කටයුතු යොදා ඇත.
මෙම සමස්ත ක්‍රියාවලීන් වෙනුවෙන් දහවල් කාලයේ විසි දෙනෙකුත්, රාත්‍රී කාලයේ විසි දෙදෙනෙකුත් බැගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 42ක් රාජකාරියේ යොදවා ඇත. මෙම සෑම අංශයක්ම පරීක්ෂා කර බලා අසතුටුදායක තත්ත්වයන් තිබුණහොත් ඊට එරෙහිව කටයුතු කරනා බවත්, පූජා මංගල්‍යය පැවැත්වෙන වකවානුවේ බැතිමතුන්ගේ සුව පහසුව උදෙසා උපරිමයෙන් කටයුතු කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
