නයිජීරියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරව සිටි පාසල් සිසුන් 40 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිව තිබෙනවා.ලාගෝස් නගරයේ සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අනතුර සිදුවුණා.
එහි ඉහළ මහලෙහි සිසුන් සිය දෙනෙකුගෙන් සමන්විත පාසලක් පැවැත්වෙමින් තිබු බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මිය ගිය සිසුන් දස දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා. මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිම සඳහා නම්කර තිබූ එකක් බවයි නයිජීරියා බලධාරින් පෙන්වා දෙන්නේ.
ගොඩනැගිල්ලේ මහල් තුනක නිවාස සංකීර්ණ පිහිටා තිබූ බවද වාර්තා වෙනවා. සහන කණ්ඩායම් කිහිපයක් එම ස්ථානයට යෙදවීමටයි පියවර ගෙන තිබෙන්නේ. ගොඩනැගිල්ලේ ඉරි තැලීම් හටගෙන ඇති බවට අවස්ථා කිහිපයකදි බලධාරින් පවසා ඇති බවයි ප්‍රදේශයේ පදිංචිකරුවන් පෙන්වා දෙන්නේ. මීට පෙරද අවස්ථා කිහිපයකදී නයිජීරියාවේ ගොඩනැගිලි කඩා වැටීමෙන් සිදුවු අනතුරු වාර්තා වුණා. 2014 වසරේදි මහල් හයකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මිය ගිය ගණන 116ක්. ඉදිකිරිම් පිළිබඳ නිසි නියාමනයක් නොමැති වීම මීට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.