අ.පො.ස සාමාන්‍ය පෙළින් අනතුරුව ආරම්භ වන පාසල් වාරයට පෙර මෙම සති අන්තයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සියලු පළාත් ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් මෙම සති අන්තයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සියලු පළාත් ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේ ද සහයෝගයෙන් දිවයිනපුරා සිදු කිරීමට අපේක්ෂා කෙරේ. එහි මූලික වැඩසටහන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ කලාපයේ සියලු පාසල්වලින් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නාරාහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුම්වත් කිරිමේ වැඩසටහනකට එක් වෙමිනි. මෙම අවස්ථාවට කොළඹ කලාපයේ සියලු ම පාසල්වල විදුහල්පතිවරුන්, පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, කොළඹ නගර සභාවේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක් විය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,
සාමාන්‍ය පෙළ විභාගය සඳහා ලබා දුන් පාසල් නිවාඩු කාලය, මින් පෙර වර්ෂවල ලබා නොදුන් අතර පාසල් වසා තිබූ මේ කාලය සාමාන්‍යයෙන් වර්ෂා සහිත කාලයක් බැවින් පාසල් පරිශ්‍රයන්හි වැසි ජලය හා කුණු කසල එකතු වී මදුරු උවදුර ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් අදාළ සියලු පාර්ශවවල සහයෝගයෙන් එම උවදුර මැඬලීමට ක්‍රියා කරන බව ද පැවසී ය.
ඒ අනුව කොළඹ නගරයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහන මෙම සති අන්තයේ ක්‍රියාවට නංවන බවත් පාසල්වල මේ වන විටත් ක්‍රියාත්මක පවිත්‍රකරණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් හා දිරිමත් කරමින් කලාප කාර්යාල, නගරසභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහනගර සභාව හා පොලිසිය පාසල් සමග සහසම්බන්ධ කරමින් එම පවිත්‍ර කිරීමේ දී මතු වන අභියෝග ජයගන්නා බවත් අමාත්‍යවරයා පැවසී ය. පාසල කුණු කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් නොකර දරුවන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් වගකීමකින් යුතු ව කටයුතු කිරීමට පාසල් අවට ප්‍රජාව ද පෙළඹිය යුතු බවත් මෙහි දී ඔහු පෙන්වා දුන්නේ ය.
