ප්‍රහසන රංගනයෙන් සුවහසක් ප්‍රේක්ෂක සිත් වල ආදරණීයව ලැගුම්ගත් අභාවප්‍රාප්ත බර්ටි ගුණතිලක කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. බර්ටි ගුණතිලකයන් අභාවප්‍රාප්ත වනවිට 98 වන වියෙහි පසුවුණා.
බර්ටි ගුණතිලකයන් ළමා පිටියෙන් ගුවන් විදුලියට එක්වීමට වරම් හිමිකර ගත්තා. සිය කලාදිවියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විනෝදසමය වැඩසටහනට එක්වීමට පසු කාලයේදී බර්ටිට අවස්ථාව හිමිවුණා. රූපවාහිනියේ ආරම්භයත් සමඟ රූපපෙට්ටිය ආක්‍රමණය කරන මේ හාස්‍ය රංගන ශිල්පියා විනෝද සමයට අමතරව නන්දන වින්දන ඇතුළු තවත් වැඩසටහන් කිහිපයකට සිය රංගන දායකත්වය ලබාදුන්නා. ඔහු රංගනයෙන් දායකවූ පළමු චිත්‍රපටය ලෙස 1951 වසරේ රාජා වහබ් කෂ්මීර් අධ්‍යක්ෂණය කළ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටය හඳුන්වා දිය හැකියි. පෙම්මල් මාලා , පාලම යට , දෙවියනි සත්‍ය සුරකින්න , මන මෝහිනී ඇතුළු චිත්‍රපට රැසකටම බර්ටි ගුණතිලකයන් ස්වකීය රංගන දායකත්වය එක්කළා. අභාවප්‍රාප්ත බර්ටි ගුණතිලකයන්ගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු අද පස්වරුවේ දී බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
