ශ්‍රී ලාංකීය ආවරණාධිපති ලෙස කිරුළ පලන් ITN මාධ්‍ය ජාලය 2019 සිග්නීස් සම්මාන උළෙලේ දී සම්මාන රැසකට පාත්‍ර වුණා. 40 වසරක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත ටෙලිවිෂන්කරනයේ සුවිශේෂී අත්දැකීම් රැසක් තිලිණකර දීම උදෙසා විශේෂ සම්මානයක් ද මෙහිදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට හිමිවුණා.
2019 සිග්නීස් සම්මාන උලෙළ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (02) උත්කර්ෂවත්ව පැවැත්වුණේ කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.
මෙවර සම්මාන උලෙළේදී හොදම ටෙලිනාට්‍ය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කූඹියෝ ටෙලිනාට්‍යයි. හොදම ටෙලිනාට්‍ය නළුවා ලෙස කූඹියෝහි රංගනයෙන් දායක වූ දුමිදු දොඩම්තැන්න සම්මාන දිනා ගත්තා. හොදම ටෙලිනාට්‍ය නිලිය ලෙස සහෝදරයා ටෙලි නාට්‍යයට රංගන දායකත්වය ලබාදුන් කළණි දොඩන්තැන්න සම්මාන හිමිකර ගත්තා. හොදම ටෙලිනාට්‍ය සහාය නළුවා ලෙස සම්මානය හිමිකර ගත්තේ කූඹියෝහි ප්‍රියන්තගේ චරිතය නිරූපනය කළ කළණ ගුණසේකරයි. හොදම ටෙලි නාට්‍ය අධ්යක්ෂණයට හිමි සම්මානය කූඹියෝ අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්නට හිමිවුණා. හොදම ටෙලිනාට්‍ය ගායකයා ලෙසින් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ විසූවියස් කදුපාමුල ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කළ මිහිදු ආරියරත්න ඇගයීමට ලක්වුණා.
මේ අතර විසූවියස් කදුපාමුල ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වූ රන්දිමා ප්‍රනාන්දු, කූඹියෝහි රංගනයෙන් දායක වූ ඇන්ඩෘ පුල්ලේ, සහෝදරයාහි අංග රචක හර්ෂ මංජුල, නිර්මාණාත්මක කුසලතා සම්මානයන්ගෙන් පිදුම් ලැබුවා. හොදම කැමරා අධ්යක්ෂ ලෙස කූඹියෝ ටෙලිනාට්‍ය වෙනුවෙන් ස්ටයිනර් ඇඩම්ස් ඇගයීමට ලක්වුණා. හොදම තිර පිටපත් රචනය සදහා ඇගයීමට ලක්වුණේ කූඹියෝ හි තිර පිටපත් රචනයෙන් දායක වූ ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරියි.
මෙවර සිග්නීස් සම්මාන උලෙළේ දී කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සිග්නීස් අන්තර්ජාතික උපහාර උත්තමාචාර සම්මානය හිමිවුණේ ප්‍රවීන රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන මහත්මියටයි.
40 වසරක ඇසිදිසි අඩහැරය තුළ ආනන්දයෙන් ප්‍රඥාවට මග කියූ මාධ්‍ය සත්කාරය අගයමින් විශේෂ සම්මානයක් මෙහිදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට හිමි වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වෙනුවෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වැඩසටහන් ඉන්ද්‍රජිත් වන්නිඅච්චි මහතා මෙහිදී සම්මානය ලබාගත්තා.