මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව නඩු පැවරීමට ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව Sunday Times පුවත්පත වාර්තාකර තිබුණා.
Sunday Times වාර්තාවට අනුව එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සිදු කළ පරික්ෂණයකට අනුවයි ජාලිය වික්‍රමසූරිය මහතාට නඩු පැවරීම සිදුකෙරෙන්නේ. ඒ සඳහා ප්‍රධාන ජූරි සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා. පසුගිය රාජපක්ෂ රජය සමයේදීයි ජාලිය වික්‍රමසූරිය මහතා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබුවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන සමයේදී රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද භාවිත කරමින් ජාලිය වික්‍රමසූරිය මහතා මුදල් විශුද්ධිකරණයේ යෙදී ඇති බවයි ඇමෙරිකා බලධාරීන් සඳහන් කරන්නේ. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සතු වරප්‍රසාද කිසියම් රජයකට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඉවත් කළ හැකි වනවා. ඒ අනුව ඇමෙරිකා බලධාරීන්ගේ ඉල්ලීම පරිදි ජාලිය වික්‍රමසූරිය මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද ඉවත් කිරීමට කටයුතු කෙරුණු බව සඳහන්. තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද ඉවත් කිරීමට කටයුතු කිරීමට විරෝධය පාමින් ජාලිය වික්‍රමසූරිය මහතා මෙරට අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කළා. එහෙත් නීතිපතිවරයා ගොනු කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් පසු එය මේ වසරේ මාර්තු මස 29 වන දින අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා. තානාපතිවරුන් පත් කිරීම හා ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණ ගන්නේ ජනාධිපති බැවින් ඔහුගේ තීරණයක් අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නොමැති බව දන්වමිනුයි නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ සිය විරෝධතාව ගොනු කළේ.
මේ අතර ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබෙනවා. ඒ අධිකරණය හමුවේ පෙනී සිටීමට ඔහු අපොහොසත් වීම හේතුවෙන්. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත්තේ වොෂිංටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට වෙන් කළ ඇමෙරිකා ඩොලර් මිලියන 6යි දශම 6 ක මුදලින් ඇමෙරිකා ඩොලර් තිස්තුන්දහසක මුදලක් ඔහු සාවද්‍ය පරිහරණයට ලක්කර ඇති බවයි. ජාලිය වික්‍රමසූරිය මහතා එම මුදල් ශ්‍රී ලංකාවට එවා ඇති බවට හෙළිව තිබෙනවා.