ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි – මිනිස් ගැටුමට විවිධාකාර වූ විසඳුම් සොයන පසුබිමක ඒ සඳහා විද්‍යාත්මක විසඳුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශීය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ( NERDC ) ඉංජිනේරුවන් සමත්ව තිබෙනවා.
නියමු ව්‍යාපෘතියක් ලෙස වීරවීල එළිමහන් කඳවුරේදී ඉදිකෙරුණු මෙම අලිවැට පද්ධතිය නිමකර බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට භාරදීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ පරිසර අමාත්‍ය ධම්මික පටබැදි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවුණා.
පෞද්ගලික අංශයේද සහය ඇතිව ඉදිකෙරුණු මෙම අලිවැට පද්ධතිය කිලෝ මීටර් 3.8 ප්‍රමාණයක් දක්වා විහිදෙන අතර අලිවැටේහි උස අඩි 16 වෙනවා.
මෙම මෙහි කණු පෙර සවි කොන්ක්‍රිට් තාක්ෂණයෙන් සංවර්ධනය කර තිබෙනවා.
මෙහි විශේෂත්වයන් කිහිපයක් දක්නට ලැබෙන අතර අලි වැට පද්ධතියට යම් හානියක් හෝ දෝෂයක් සිදු වූ විට එහි හිමිකරුට කෙටි පණිවිඩයකින් දැනුම් දීමක් සිදුවෙනවා.
අලි වැටේ වාර්තා නිරික්ෂණය කිරීමට හා විශ්ලේෂණය කිරීමට වෙබ් පිටුවක් ද නිර්මාණය කර තිබෙනවා.
මෙරට දැනට පවතින අලි වැට පද්ධතීන් ඉතා පහසුවෙන් අලින් විසින් කඩා බිඳ දමන අතර මෙම අලිවැට පද්ධතියට අලින්ට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද අවමයි.
මින් පෙර මෙරට අලි වැට පද්ධතීන් සඳහා විදේශ රටවලින් ආනයනය කරන ලද තාක්ෂණික උපකරණ භාවිතා කළ අතර ඒ සඳහා වාර්ෂිකව විශාල ඩොලර් ප්‍රමාණයක් වියදම් කෙරෙනවා.
මෙම අලි වැට පද්ධතියේ විද්‍යුත් එනජයිසරය රුපියල් ලක්ෂයකට අවම මුදලකින් නිපදවා ඇති අතර මින් පෙර මෙවැනිම එනජයිසරයක් රුපියල් ලක්ෂ 5 පමණ වියදම් කර මෙරටට ගෙන්වා තිබෙනවා.
මෙම පද්ධතිය දේශිය උපකරණ, තාක්ෂණය හා මානව සම්පතින් ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිර්මාණය වී තිබෙනවා.